වෝනර්ගේ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු අටක ජයක් ලැබූ ඔස්ට්‍රේලියාව 3-0 ක් ලෙස තරගාවලිය දිනයි

Match Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග සිඩ්නි හී දී පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද(6) සමත් වුණා.

තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 68 ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසු වූ අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115 ක්.

ඒ අනුව තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 130 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් කඩුලු දෙකක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේ ඩේවිඩ් වෝනර් හා මර්නස් ලබුෂේන් ලබා ගත් අර්ධ ශතකවලින් සවිමත් වෙමින්.

සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළ වෝනර් ලකුණු 57 කට දැවී ගියා. එය ඔහු රැස් කළ 37 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. ලබුෂේන් නොදැවී ලකුණු 62 ක් රැස් කළා. ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට සජීඩ් ඛාන් සමත් වූ අතර, වෝනර් ද දැවී ගියේ ඔහුගේම පන්දුවක් හමුවේයි.

ලකුණු බින්දුවේ දී පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව වෝනර් හා ලබුෂේන් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 119 ක්.

දිනය ආරම්භ කරන විට පාකිස්තාන දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලේ රැදී සිටියේ මොහමඩ් රිස්වාන් හා ආමීර් ජමල්. ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ලට ලකුණු 42 (89) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ ඔස්ට්‍රේලියාවට අභියෝගාත්මක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දීමේ අරමුණ ඇතිවයි.

නමුත්, රිස්වාන් ලකුණු 28කටත්, ආමීර් ලකුණු 18කටත් දැවී යාමත් සමග පාකිස්තානයේ බලාපොරොත්තු බිද වැටුණා. පාකිස්තානය වෙනුවෙන් සයීම් අයුබ් ලකුණු 33 ක් හා බාබර් අසාම් ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත් අතර, නේදන් ලයන් ලකුණු 36 කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 313 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 299 ක්.

තරගයේ වීරයා ලෙස ආමීර් ජමල් සම්මානයෙන් පිදුම් ලැබුවේ පාකිස්තාන පළමු ඉනිමේ දී ලකුණු 82 ක් රැස් කරමින් හා ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී කඩුලු හයක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

කඩුලු 19ක් දවා ගත් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

big 3
Comments (0)
Add Comment