විලියම්සන්ගේ ශතකය නවසීලන්තය සනසද්දී එංගලන්තය ජයග්‍රහනයට 210 ක් පිටුපසින්

Day 4 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(27) නිමා වුණා.

ඒ, වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 48 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 210 ක් ලබා ගත යුතුයි.

සැක් ක්‍රව්ලි ලකුණු 24 කට දවා ගැනීමට ටිම් සවුති සමත් වූ අතර, බෙන් ඩකට් නොදැවී ලකුණු 23 යි.

වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 483 ක් ලබා ගත්තා.

සිය 26 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ කේන් විලියම්සන් ලකුණු 132 ක් ලබා ගත්තේ හතරේ පහර 12 ක් ද සමගින්.

ටොම් බ්ලන්ඩන් ලකුණු 90 ක් ද, ටොම් ලේතම් ලකුණු 83 ක් ද, ඩෙවෝන් කොන්වේ ලකුණු 61 ක් ද, ඩැරල් මිචෙල් ලකුණු 54 ක් ද රැස් කරමින් නවසීලන්ත දෙවැනි ඉනිම ශක්තිමත් කළා.

විලියම්සන් හා බ්ලන්ඩල් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 158 (271) ක සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු එංගලන්තයෙන් දුරස් කරමින්.

කෙසේ වෙතත්, 6 වැනි කඩුල්ල ලෙස විලියම්සන් දැවී යාමත් සමග නවසීලන්ත ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 28 ක් තුළ දැවී යාම එංගලන්තයට යළි ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු රැගෙන ඒමට සමත් වුණා. ඒ අනුව තරගය ජය ගැනීමට ඔවුන්ට හිමි වූ ඉලක්කය ලකුණු 258 ක්. ශතකලාභී විලියම්සන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ හැරී බෘෘක් විසින් වීම ද විශේෂත්වයක්.  පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 5 ක් දවා ගැනීම ද කැපී පෙනුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 435 ක් ලබා සිටියදීයි. පිළිතුරු ලෙස නවසීලන්තය සිය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 209 ක් පමණයි.

ලකුණු සාරාංශය –

එංගලන්තය 435/8 d ; නවසීලන්තය 209 , 483 (f/o) ; එංගලන්තය 48/1, ජයග්‍රහනයට තවත් ලකුණු 210 ක් පිටුපසින්

big 3
Comments (0)
Add Comment