රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු හිටපු නායක විරාට් කෝලිට තරග ගාස්තුවෙන් 10%ක දඩ පැනවීමක් සිදු කළ බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සංවිධායකයින් සදහන් කළේ ඔහු විසින් අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම දඩ නියම කිරීම සිදු කළ බවයි.
බැංගලූරුහි M Chinnaswamy ක්‍රීඩාංගනයේ ඊයේ(17) රාත්‍රියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි ඔහු මෙලෙස විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරී ඇත්තේ.
අයි.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවට කෝලිට චෝදනා එල්ල කර තිබූ අතර, එම චෝදනා ඔහු විසින් පිළිගෙන තිබෙනවා.
කෝලි මෙම තරගයේ දී සිදු කර ඇති වරද කුමක්දැයි අයි.පී.එල් සංවිධායකයින් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම තරගයේ දී ශිවම් ඩූබේගේ කඩුල්ල දැවී යාමෙන් පසුව ඔහු ආවේගශීලී ලෙස එය සැමරීම මෙම දඩුවමට හේතුවන්නට ඇති බවටයි.
අයි.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.2 වගන්තියේ සදහන් වන්නේ මෙවැන්නක් –
“2.2 – Abuse of cricket equipment or clothing, ground equipment or fixtures and fittings during a Match.
Article 2.2 includes any action(s) outside the course of normal cricket actions, such as hitting or kicking the wickets and any action(s) which deliberately (i.e. intentionally), recklessly or negligently (in either case even if accidental) results in damage to the advertising boards, boundary fences, dressing room doors, mirrors, windows and other fixtures and fittings. For example, this offence may be committed, without limitation, when a Player swings his/her bat vigorously in frustration and causes damage to an advertising board.”
මෙම තරගයේ දී චෙන්නායි පන්දු යවන්නන්ට හිසරදයක් නොවූ විරාට් කෝලි ලකුණු 6ක් පමණක් රැස් කරමින් පළමු පන්දුවාරයේ දී ම දැවී ගියා. තරගය ජය ගැනීම සදහා බැංගලෝර් කණ්ඩායමට ලකුණු 227 ක ඉලක්කයක් හිමිව තිබූ නමුත්, ඔවුන්ට රැස් කිරීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 218 ක් පමණයි.
පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි ඉනිම වෙනුවෙන් ශිවම් ඩූබේ පන්දු 27 කින් ලකුණු 52 ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 83 (45) ක් රැස් කරමින් බැංගලෝර් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා.
බැංගලෝර් පිළිතුරු ඉනිමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් හා ග්ලේන් මැක්ස්වෙල් අතර ලකුණු 126 (61) ක වේගවත් සම්බන්ධතාවයක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණ නමුත්, එය තරගයේ ජයග්‍රහනයට ප්‍රමාණවත් වූයේ නැහැ. මැක්ස්වෙල් ලකුණු 76 (පන්දු 36 කින්) කට ද, ඩු ප්ලෙසිස් ලකුණු 62(පන්දු 33කින්) කට ද දැවී ගියා.
පන්දු යැවීමේ දී චෙන්නායි පිල වෙනුවෙන් තුෂාර් දේශපන්ඩේ ලකුණු 45 කට කඩුලු 3 ක් හා මතීෂ පතිරණ ලකුණු 42 කට කඩුලු 2 ක් බිද හෙලුවා.