වාර්තාගත ප්‍රහාරය හමුවේ බංග්ලාදේශය පරදා ලකුණු 133 ක ජයක් සමග ඉන්දියාව තරගාවලිය දිනයි

Match Report

වාර්තා රැසක් අලුත් කරමින් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 133 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(12) සමත් වුණා.

හයිදරාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 297 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණයි.

තව්හිද් හ්රිදෝයි නොදැවී ලකුණු 63 ක් රැස් කළේ පන්දු 42 කින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ලිටොන් දාස් ලකුණු 42(පන්දු 25) යි. සිය අවසන් ජාත්‍යන්තර විස්සයි 20 තරගය ක්‍රීඩා කළ මහ්මුදුල්ලාහ් ලකුණු 8කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මයාන්ක් යාදව් ලකුණු 32 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව රැස් කළ ලකුණු 297 විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ඔවුන් වාර්තා කළ සිය ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එය ටෙස්ට් රටක් විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා. මීට පෙර 2019 වසරේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 278 ක් වාර්තා කරමින් විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ටෙස්ට් කණ්ඩායමක් වාර්තා කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණා.

එමෙන්ම විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද ඉන්දියාව අද රැස් කළ ලකුණු 297 යි. මීට පෙර නේපාල කණ්ඩායම 2023 වසරේ දී මොන්ගෝලියාවට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත් අතර, විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව වන්නේ එම ලකුණු සංඛ්‍යාවයි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 47 කින් ලකුණු 111 ක් ලබා ගත්තේ හයේ පහර 8 ක් හා හතරේ පහර 11 ක් සමගින්. එය ඔහුගේ මංගල විස්සයි 20 ජාත්‍යන්තර ශතකයයි. සංජු පන්දු 40 කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර, එය ඉන්දියාව වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම ශතකය ලෙසයි ඉතිහාසගත වුණේ.

සූර්යකුමාර් යාදව් පන්දු 35 කින් ලකුණු 75 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 8 ක් සමගින්. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 173 (පන්දු 70) ක්.

හර්ඩික් පාන්ඩ්යා ලකුණු 47(18) ක් හා රියාන් පරාග් ලකුණු 34(13) ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී ටන්සිම් හසාන් ලකුණු 66 කට කඩුලු 3 ක් දවා ගත්තා.

top
Comments (0)
Add Comment