වසර 40කට පසු සිදු කළ ප්‍රබල වෙනසක් සමග අලුබදුන ටෙස්ට් තරගාවලියට දින නියම වෙයි

ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 2025-26 අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද(16) නිවේදනය කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියා-එංගලන්ත තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය 2025 වසරේ නොවැම්බර් 21 වැනිදා පර්ත්හී දී ආරම්භ වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අලුබදුන ටෙස්ට් තරගාවලියක පළමු තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී නොපවත්වා වෙනත් ක්‍රීඩාංගනයකදී මෙලෙස පැවැත්වෙන්නේ දශක 4කට පසුව පළමු වරට වීම විශේෂත්වයක්.

අවසන් වරට ගැබා ක්‍රීඩාංගනයෙන් පිට අලුබදුන තරගාවලියක් එරට දී ආරම්භ වී තිබුණේ 1982 වසරේදීයි. එම වසරේ පැවැති පළමු අලුබදුන ටෙස්ට් තරගය පර්ත්හි WACA ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

1986 වසරේ දී ගැබා ටෙස්ට් තරගය එංගලන්තය හමුවේ ඔස්ට්‍රේලියාව පරාජයට පත් වුවද, ඉන් අනතුරුව මෙතෙක් ඔස්ට්‍රේලියාව ගැබා ක්‍රීඩාංගනයේ දී කිසිදු අලුබදුන ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නැහැ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි අලුබදුන ටෙස්ට් තරගය බ්‍රිස්බේන්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමටයි මෙවර තීරණය කර ඇත්තේ.

තෙවැනි ටෙස්ට් තරගය ඇඩිලේඩ්හී දී ද, සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය සිඩ්නිහී දී ජනවාරි 4 වැනිදායි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

The Ashes 2025-26 schedule:

  • First Test: November 21-25, 2025, Perth Stadium
  • Second Test: December 4-8, 2025, The Gabba (D/N)
  • Third Test: December 17-21, 2025, Adelaide Oval
  • Fourth Test: December 26-30, 2025, MCG
  • Fifth Test: January 4-8, 2026, SCG
top
Comments (0)
Add Comment