වසර 36 කට පසු නවසීලන්තයට ඉන්දියාවේ දී ටෙස්ට් ජයක්

Match Report

වසර 36 කට පසුව පළමු වරට ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(20) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින්.

බැංගලූරුහී දී පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 107 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 110 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඊයේ දිනය නිමා වන විට නවසීලන්ත ඉනිමේ පන්දු 4 ක් පමණක් යොමු කර තිබූ අතර, එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ජස්ප්‍රිට් බුම්රා විසින් ලකුණු නොලබා සිටි ටොම් ලේතම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට අද පෙරවරුවේ සමත් වුණා.

අනතුරුව ඩෙවෝන් කොන්වේ හා විල් යන්ග් දෙවැනි කඩුල්ලට ලකුණු 35 (69) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් නවසීලන්ත හඹා යාම ස්ථාවර කළා. කොන්වේ ලකුණු 17 කට දැවී ගියේ ද බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙනුයි.

ඔහුගේ දැවී යාමෙන් පසුව යන්ග් සමග පිටියේ එක් වූ රචින් රවීන්ද්‍ර තෙවැනි කඩුල්ලට ලකුණු 75* (92) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් නවසීලන්තයට ඓතිහාසික ජයක් උරුම කර දුන්නා. විල් යන්ග් නොදැවී ලකුණු 48 ක් හා රචින් රවීන්ද්‍ර නොදැවී ලකුණු 39 ක් රැස් කළා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 46 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 402 ක්. අනතුරුව ඉන්දියාව දෙවැනි ඉනිමට ලකුණු 462 ක් රැස් කළා.

නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවේ දී ලැබූ දෙවැනි ටෙස්ට් ජය ලෙසයි මෙය ඉතිහාසගත වුණේ. මීට පෙර ඔවුන් 1988 වසරේ දී මුම්බායිහී දී හා 1969 වසරේ දී නාග්පූර්හී දී ටෙස්ට් තරගය බැගින් ජය ගෙන තිබුණා.

top
Comments (0)
Add Comment