වසර 12 කට පසු කෝලි දේශීය පළමු පෙල ක්‍රිකට් පිටියට

වසර 12 කට පමණ පසුව විරාත් කෝලි යළි ඉන්දිවේ ප්‍රමුඛතම පළමු පෙල තරගාවලිය වන රංජි කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කෝලි දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් Railways කණ්ඩායමට එරෙහිව ලබන 30 වැනිදා ආරම්භ වන තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජනවාරි 23 වැනිදා දිල්ලි කණ්ඩායම සෞරාෂ්ට්‍ර කණ්ඩායම සමග තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත්, කෝලි එම තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ, එම තරගය සදහා රිෂාබ් පන්ට් හා රවීන්ද්‍ර ජඩේජා ක්‍රීඩා කරන බව ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.

නමුත් බෙල්ල ආශ්‍රිත අබාධයකින් තමන් තවමත් සුවය ලබමින් සිටින බැවින් එම තරගය සදහා තමාට ක්‍රීඩා කළ නොහැකි බව කෝලි සදහන් කර තිබෙනවා. ඔහු ජනවාරි 8 වැනිදා මෙම ආබාධය වෙනුවෙන් එන්නතක් ද ලබා ගෙන තිබෙනවා.

රංජි කුසලාන තරගාවලිය යටතේ ජනවාරි 23 වැනිදා ආරම්භ වන තරග වටය සදහා රෝහිත් ෂර්මා, යශස්වි ජයිස්වාල්, ෂුබ්මන් ගිල් වැනි ක්‍රීඩකයින් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

පසුගිය කාලයේදී ඉන්දීය කණ්ඩායම දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ඉන්දීය ක්‍රීඩකයින් සදහා නව නීති 10 ක් පැනවීමට කටයුතු කළා.

ඒ අනුව මධ්‍යම කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයින්ට දේශීය තරග ක්‍රීඩා කිරීම ද අනිවාර්යය කිරීමටයි පියවර ගත්තේ.

යම් හේතුවක් මත දේශීය තරගයක් ක්‍රීඩා නොකර සිටීමටනම් ඒ සදහා තේරීම් කමිටුවෙන් අදාළ ක්‍රීඩකයා අවසර ලබා ගැනීමක් සිදු කළ යුතු වනවා.

කෝලි පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සැලකිය යුතු දක්ෂතා දැක්වීමට ද සමත් වූයේ නැහැ. ඒ හේතුවෙන් මෙවර රංජි කුසලාන තරගාවලියේදී ඔහු දක්වන දක්ෂතා පිළිබද බොහෝ දෙනෙකු බලා සිටින බවට සැක නැහැ.

Comments (0)
Add Comment