දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක රැස් කළ ශතක හා කුසල් මෙන්ඩිස් නොදැවී ලබා ගත් ලකුණු 83 හමුවේ සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (26) නිමා වුණේ දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.
දිනය නිමා කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටියා. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර තේ පානය සදහා තරගය නතර කෙරුණු අතර, අනතුරුව ක්‍රීඩාංගනයට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය යළි අද දිනට ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 81 ක් ලබා සිටියා. සිය 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න ලකුණු 115 කට දැවී ගියේ දිවා ආහාරයට පෙර යොමු කෙරුණු අවසන් පන්දුවාරයේ දී යි. පන්දු 116 කින් ඔහු ශතකය සම්පූර්ණ කළ අතර, දැවී යන විට පන්දු 133කට මුහුණ දී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත්ව තිබුණා.
ඔහු හා නිශාන් මදුෂ්ක අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු ලකුණු 228 ක සම්බන්ධතාවය ගාලු ක්‍රීඩාංගනයේ දී ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු හොදම ලකුණු සබදතාවයයි. මීට පෙර මාවන් අතපත්තු හා සනත් ජයසූරිය 2000 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 193 ක සම්බන්ධතාවයක් පිහිටුවමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.
දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නිශාන් මදුෂ්ක සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 149 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු 234 කින් වාර්තා වී ඇති ඔහු ඉනිමට හතරේ පහර 18 ක් ඇතුළත්. ඔහු සිය ශතකය වාර්තා කළේ දැවැන්ත හයේ පහරකින් වීම ද කැපී පෙනුණා.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83 (96) යි. මෙන්ඩිස්ගේ ඉනිම හයේ පහර 5 කින් හා හතරේ පහර 7 කින් වර්ණවත් වී තිබෙනවා.
නිශාන් මදුෂ්ක හා කුසල් මෙන්ඩිස් අතර මේ වන විට දෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගී ඇති සම්බන්ධතාවය ලකුණු 129* (171) ක්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්.
අයහපත් කාලගුණයෙන් සිදු වූ බලපෑම හේතුවෙන් අද දිනයේ දී ද තරගය පෙරවරු 9:45 ට ආරම්භ කෙරුණු අතර හෙට සහ අනිද්දා යන දින දිනවලදී ද ඒ අයුරින්ම තරඟය පෙරවරු 9:45 ට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ, එක් දිනකට පන්දුවාර 98 යොමු කිරීමේ අරමුණින්.