සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම (2-0) තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23) සමත් වුණා.
ඒ අනුව කොදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාවේ දී කිසිදු ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පරාජයට පත් නොවී ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. මෙය ශ්‍රී ලංකාව හමුවේ කොදෙව්වන් මෙරට දී අඛන්ඩව පරාජයට පත් වූ 10 වැනි එක්දින තරගය වීම ද විශේෂත්වයක්.
වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 44 කට සීමා වූ තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ගෙන් ලද ලකුණු 190 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 38.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 9කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 3 කටත් දැවී ගියා. අනතුරුව නිශාන් මදුෂ්ක සමගින් පිටියේ එක් වූ සධීර සමරවික්‍රම තෙවැනි කඩුල්ලට ලකුණු 62 (65) ක සම්බන්ධතවයක් ගොඩ නැගුවා. නිශාන් හා සධීර ලකුණු 38 බැගින් ලබා සිටියදී දැවී ගියා.
පසුව නායක චරිත් අසලංක හා ජනිත් ලියනගේ 5 වැනි කඩුල්ලට ලකුණු 55 (65) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා හඹා යාම ස්ථාවර කළා. ජනිත් ලකුණු 24 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ. සිය 14 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ අසලංක නොදැවී ලකුණු 62(61) ක් ලබා ගත් අතර, කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 11 යි.
පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 30 කට කඩුලු දෙකක් දවා ගත්තා.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 189 ක් රැස් කළේ පන්දුවාර 36 ක් අවසානයේදීයි. ඒ, 8 වැනි කඩුල්ල ලකුණු 58 දී බිද වැටුණු පසුබිමකයි.
අනතුරුව ශෙර්ෆේන් රදර්ෆර්ඩ් හා ගුඩකේෂ් මෝති 9 වැනි කඩුල්ලට ලකුණු 119 (115) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. එය එක්දින ඉතිහාසයේ දී කොදෙව්වන් වෙනුවෙන් 9 වැනි කඩුල්ලට වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවයයි.
රදර්ෆර්ඩ් ලකුණු 80(82) ක් රැස් කළ අතර, මෝති නොදැවී ලකුණු 50(61) ක් රැස් කළා. රදර්ෆර්ඩ් ලබා දුන් උඩ පන්දු දෙකක් (ලකුණු 23 ක් හා 72ක් ලබා සිටියදී) ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය අතර, එසේ නොවන්නට කොදෙව්වන් මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැවතුණා.
ආරම්භක පිතිකරුවන් වූ Alick Athanaze එක් ලකුණකටත්, බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 16 කටත් දැවී ගියා. ශේයි හෝප් ලකුණු 5කට දැවී ගිය අතර, කේසි කාර්ති ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. රොස්ටන් චේස් ලකුණු 8කට හා රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 4 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට මෙම තරගයට කැදවූ මහීෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා. අසිත ප්‍රනාන්දු ලකුණු 35 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.
— cric sl (@cricslvideo) October 23, 2024