ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හදිසියේම ටෙස්ට් සංචිතය සදහා නම් කළේ ඔහුට එරෙහිව පැනවීමට තිබූ තරග තහනමෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් වනිදුට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට පසුගියදා අයි.සී.සීය කටයුතු කළා.
ඔහුගේ විනය වාර්තාවේ දඩුවම් ලකුණු ප්‍රමාණය මේ වන විට 8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ටෙස්ට් තරග දෙකක, එක්දින තරග 4 ක හෝ විස්සයි 20 තරග 4 ක තහනමකට සමාන වනවා.
ඒ අනුව අදාළ තහනමට මුහුණ දෙන ක්‍රීඩකයා පළමුවෙන්ම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති තරග රටාව කුමක් ද යන්න අනුව මෙම තහනම බලපැවැත්වෙනු ඇති.
අදාළ සිද්ධිය වූ තෙවැනි එක්දින තරගය අවසන් වී පැය කිහිපයකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කළ අතර, බොහෝ දෙනෙකු මවිතයට පත් කරමින් එම සංචිතය සදහා මීට පෙර ටෙස්ට් පිටියෙන් සමු ගත් වනිදු හසරංග ද නම් කර තිබුණා. ඒ, ඔහු වසරකටත් වැඩි කාලයකින් පළමු පෙල තරගයක් හෝ ක්‍රීඩා කර නොතිබූ පසුබිමකයි.
ඔහුව එලෙස ටෙස්ට් සංචිතයට නම් නොකළේ නම් ජූනි මාසයේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග හතරම ක්‍රීඩා කිරීමේ අවස්ථාව නායක වනිදු හසරංගට අහිමි වනවා.
නමුත්, ටෙස්ට් සංචිතයට කැදවීම හේතුවෙන් ඔහුට අහිමි වී යන්නේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය පමණයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ වනිදු හසරංග පසුගිය 16 වැනිදා ඊ මේල් පණිවිඩයක් හරහා තමන් ටෙස්ට් ක්‍රිකට් පිටියට යළි පිවිසීමට කැමැත්තෙන් පසුවන බවට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ බවයි.
එමෙන්ම වනිදු සති දෙකකට පමණ පෙර යළි ටෙස්ට් පිටියට පිවිසීමට කැමැත්තෙන් පසුවන බවට සදහන් කර තිබූ බවත්, අවසන් එක්දින තරගයට පෙරම ඔහුව සංචිතයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික අජන්ත මෙන්ඩිස් මහතා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කර තිබෙනවා.
ඔහුව උපක්‍රමශීලීව ටෙස්ට් සංචිතයට කැදවීමක් සිදු කර තිබූ බවට හැගී ගිය ද, එම ක්‍රියාවලියේ දී නීති කඩකිරීමක් සිදුව නොමැති බැවින් අයි.සී.සීයට ද ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇති.
වනිදු හසරංග බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළේ නම්, ඔහුට හෙට(22) ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති පළමු තරග කිහිපයද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.
කෙසේ වෙතත්, එම ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට හසරංග සූදානමින් සිටි බවට සන්රයිසස් කණ්ඩායම නොදැන සිටි බවට ද තොරතුරු වාර්තා වන්නේ යැයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.
මීට පෙර උපක්‍රමශීලී අයුරින් තරග තහනමකින් ගැලවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම 2012 වසරේ දී ද කටයුතු කර තිබුණා.
එම වසරේ දී පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකදී නිත්‍ය නායක මහේල ජයවර්ධන වෙනුවට කුමාර් සංගක්කාර නායකත්වය දරනු ලැබූ අතර, එය සිදු කළේ මහේල ජයවර්ධනට එරෙහිව පැනවීමට ඉඩ තිබූ තරග තහනමකින් ඔහුව ආරක්ෂා කර ගැනීමේ අරමුණින්.
අදාළ තරගයට පෙර නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම නිසා ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනට එරෙහිව දඩුවම් පනවා තිබූ අතර, එවැනි වරදක් යළි සිදු වුවහොත් මහේලට ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී තරග තහනමක් පැනවීමේ අවධානමක් මතුව තිබුණා.
ඒ හේතුවෙන් කුමාර් සංගක්කාර එක් තරගයකදී කණ්ඩායම මෙහෙය වූ අතර, එම තරගයේ දී අදාළ වරද සිදු වූයේ නම් ඊට එරෙහිව දඩුවම් පැනවීමකට ලක් වන්නේ මහේල ජයවර්ධන නොව කුමාර් සංගක්කාරයි. නමුත්, එය සංගක්කාරගේ නායකත්වයෙන් සිදු වන පළමු වරද නිසා ඔහුට එරෙහිව තරග තහනමක් පැනවෙන්නේ නැහැ.