2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ තරග 10 ක් පමණයි. කෙසේ වෙතත්, මෙතෙක් කිසිදු කණ්ඩායමක් අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව නැහැ.
අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව තවදුරටත් සටනක නිරත වෙමින් සිටින අතර, පාකිස්තානයට ද ගණිතමය වශයෙන් තවදුරටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉතා සීමිත (විය නොහැකි මට්ටමෙන්) අවස්ථාවක් උදා වී තිබෙනවා.
කෙසේ වෙතත්, නවසීලන්තය, එංගලන්තය, බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට මේ වන විටත් අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ?
ශ්‍රී ලංකාව මේ වන විට 45.45% ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන අතර, ඔවුන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරටදී තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
දකුණු අප්‍රිකාව සමග අද නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ද ලකුණු 109 ක පරාජයක් ලැබීමත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද ශ්‍රී ලංකා බලාපොරොත්තු මේ වන විට දැඩි තර්ජනයකට ලක්ව ඇති බව නොරහසක්.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකම ජය ගැනීම අනිවාර්යය වී ඇති අතර, ඊට අමතරව අනෙකුත් තරග ප්‍රතිපල මත ද යැපීමට සිදුව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග දෙකම ජය ගතහොත් ශ්‍රී ලංකාවට 53.85% ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගත හැකියි.
කෙසේ වෙතත්, පාකිස්තානයට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් එක් තරගයක් ජයගතහොත් දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වන බැවින් ඔවුන් එම තරග දෙකම පරාජයට පත්වීම ශ්‍රී ලංකාවට වැදගත් වනවා. එසේ වුවහොත් දකුණු අප්‍රිකාවට හිමිවන්නේ 52.78% ලකුණු ප්‍රතිශතයක් පමණයි.
එහිදී ඉන්දියාවට හෝ ඔස්ට්‍රේලියාවට පමණක් ශ්‍රී ලංකාවේ 53.85% ක ලකුණු ප්‍රතිශතය ඉක්මවා යා හැකි බැවින් එම කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.
නැතහොත්,
දකුණු අප්‍රිකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව අනෙක් තරගය දකුණු අප්‍රිකාව පරාජයට පත් වුවද, එහිදී ද දකුණු අප්‍රිකාවට 55% ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගත හැකියි.
ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගතහොත් ඔස්ට්‍රේලියාවේ (53.51%) ලකුණු ප්‍රතිශතය හා ඉන්දියාවේ (51.75%) ලකුණු ප්‍රතිශතය ශ්‍රී ලංකාවට (53.85%) වඩා පහළ මට්ටමකට ඇද වැටෙනවා.
එහිදී ද ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමට අවස්ථාවක් උදා වනවා.