ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා දකුණු අප්‍රිකා කණ්ඩායම ද මේ වන විට සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ, ඊයේ (9) රාත්‍රියේ අවසන් වූ අයර්ලන්ත-බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වීමත් සමගයි.
දකුණු අප්‍රිකාව අභිබවා අයර්ලන්තය 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වන මෙම එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත යුතුව තිබුණා.
කෙසේ වෙතත්, එංගලන්තයේ Chelmsford හී දී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුණේ අයර්ලන්තයේ එම බලාපොරොත්තු සුන් කරමින්.
අයර්ලන්ත ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය අයර්ලන්තයේ දී නොපවත්වා එංගලන්තයේ Chelmsford හී දී පැවැත්වීමට තීරණය කළේ ද අයහපත් කාළගුණයෙන් තරගාවලියට සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමේ අරමුණින්.
නමුත්, මෙලෙස පළමු තරගය වර්ෂාවට බිලි වීමත් සමග ජූනි 18 වැනිදා සිට සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අයර්ලන්තයට සිදු වනවා.
ශ්‍රී ලංකාව ද එම තරගාවලියට ක්‍රීඩා කරන්නේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන 5 අතරට ඇතුළත් වීම හේතුවෙන්.
ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ රටවල් 8 –
India (hosts), New Zealand, England, Australia, Bangladesh, Pakistan, Afghanistan, South Africa.
සුදුසුකම් ලැබීමේ තරගාවලියට සුදුසුකම් ලැබූ රටවල් 10 –
West Indies, Sri Lanka, Zimbabwe, Ireland, Netherlands, Scotland, Oman, Nepal, USA, UAE
අයර්ලන්තයට ලද 247 ක ඉලක්කය
අයර්ලන්ත – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 9 ක් දැවී ලකුණු 246 ක් ලබා ගත්තා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 61 ක් ද, නජ්මුල් හොසේන් ලකුණු 44 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් කඩුලු 3 ක් ද, මාර්ක් අඩයර් හා ග්‍රැහැම් හියුම් කඩුලු 2 බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 16.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.