ත්‍රස්ත ප්‍රහාරයක අවධානම ගැන ICC හා CWI ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පුළුල් හා ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, එම තරගාවලියට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක තර්ජනයක් පිළිබද කොදෙව් ආරක්ෂක අංශ අධීක්ෂණය කරමින් සිටින බවට ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ අග්‍රාමාත්‍ය Keith Rowley තහවුරු කර ඇති පසුබිමකයි.

“මෙම අන්තරායන් සමනය කිරීම සඳහා, අපි දේශීය සහ කලාපීය මට්ටමින් බොහෝ තර්ජන පිළිබඳව අවධානයෙන් සිටින අතර අපගේ බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක ආයතන තනිව හෝ එක්ව තරඟාවලිය පුරාවටම රටවල්වල සහ ක්‍රීඩාංගනවල ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා Sunday Express වෙත පවසා තිබෙනවා.

අයි.සී.සීය හා කොදෙව් ක්‍රිකට් ආයතනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම ත්‍රස්ත අවධානම සම්බන්ධයෙන් මේ වන විට කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

“අපි සත්කාරක රටවල සහ නගරවල බලධාරීන් සමඟ සමීපව කටයුතු කරනවා වගේම අපගේ තරගාවලියට හඳුනාගත් අවදානම් අවම කිරීම සඳහා සුදුසු සැලසුම් ක්‍රියාත්මක බව සහතික කිරීමට ගෝලීය භූ දර්ශනය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ ඇගයීම සිදු කරනවා.” යනුවෙන් එම නිවේදනයේ සදහන්.

“ICC පිරිමි T20 ලෝක කුසලානයේ දී සෑම දෙනාගේම ආරක්ෂාව අපගේ අංක එකේ ප්‍රමුඛතාවය බව සියලුම පාර්ශවකරුවන්ට සහතික කිරීමට අපට අවශ්‍යයි. අපට පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් තියෙනවා.”

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

රටවල් 20 ක් ක්‍රීඩා කරන තරගාවලියේ තරග කොදෙව් දූපත්හි ක්‍රීඩාංගන හයකදී ද, ඇමෙරිකාවේ ක්‍රීඩාංගන තුනකදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Comments (0)
Add Comment