ලාහෝර්හීදී ඔස්ට්‍රේලියානු ජාතික ගීය වෙනුවට ඉන්දීය ජාතික ගීය වාදනය වීම ගැන පාකිස්තානයෙන් අයි.සී.සීයට දොස්

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයට පෙර ඉන්දීය ජාතික ගීයේ කොටසක් වැරදීමකින් වාදනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා තිබෙනවා.

ඊයේ(22) පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැති අතර, තරගය ආරම්භ කිරීමට පෙර සුපුරුදු පරිදි කණ්ඩායම් දෙකේ ජාතික ගීත වාදනය කිරීමට පියවර ගත්තා.

පළමුව එංගලන්තයේ ජාතික ගීය ගැටලුවකින් තොරව වාදනය කෙරුණු නමුත්, අනතුරුව ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය ආරම්භ වනවා වෙනුවට ඉන්දීය ජාතික ගීයේ කොටසක් වාදනය වුණා.

එය ඉක්මණින් නවතා දමා අනතුරුව ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය වාදනය කිරීමටයි පියවර ගැනුණේ. (දර්ශන පහතින් නරඹන්න)

මෙම වරද සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට අසතුටෙන් පසුවන අතර, එම වදරට එරට ක්‍රිකට් ආයතනය අයි.සී.සීය වෙත දොස් පවරා තිබෙනවා.

මෙය අයි.සී.සී තරඟාවලියක් වන බැවින්, ජාතික ගීත ධාවන ලැයිස්තුව අයි.සී.සීය විසින් නිෂ්පාදනය කර බෙදා හරින ලද බවත්, තරඟවලට පෙර ජාතික ගීත වාදනය කිරීමේ වගකීම අයි.සී.සීය සතු බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත පවසා තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේදී කිසිදු තරඟයක් ක්‍රීඩා නොකරන බැවින්, ජාතික ගීත ධාවන ලැයිස්තුවේ ඉන්දීය ජාතික ගීය තිබුණේ කෙසේ දැයි පාකිස්තානය ප්‍රශ්න කර සිටිනවා.

තරගාවලිය යටතේ පසුගිය 20 වැනිදා පැවැති ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයේදී සජීවී විකාශන තිරය තුළ තරගාවලියේ ලාංඡනයට (logo) සත්කාරක පාකිස්තානයේ නම ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ද මීට පෙර පාකිස්තානය විසින් අයි.සී.සීය වෙත සිය අප්‍රසාදය පල කර තිබූ පසුබිමකයි යළිත් මෙවැනි වරදක් සිදුව ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් අයි.සී.සීය සදහන් කර තිබුණේ එය තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බවටයි.

තරගාවලියට අදාළ නිල ලාංඡනය රූපවාහිනී තිරයේ වම් පස ඉහළින් ප්‍රදර්ශනය කෙරෙන අතර, මෙතෙක් පැවැති අනෙකුත් තරගවලදී එම ලාංඡනය සදහා තරගාවලියේ නම ලෙස ‘Champions Trophy 2025’ ලෙසත්, සත්කාරක රට වන පාකිස්තානයේ නමත් ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත්, ඩුබායිහීදී පැවැති ඉන්දු-බංග්ලාදේශ තරගයේදී තරගාවලියේ නම පමණක් ඇතුළත් කර තිබූ අතර, නිල සත්කාරක රට වන පාකිස්තානයේ නම ඊට ඇතුළත්ව තිබුණේ නැහැ.

එය තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් ලෙස අයි.සී.සීය සදහන් කළ නමුත්, එම පැහැදිලි කිරීම ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අතෘප්තියට හේතු වී තිබූ බව සදහන්.

තරගාවලියට අදාළව පාකිස්තානයේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉදිරියේදී පැවැත්වෙන තරග සඳහා යළි මෙවැනි වරදක් සිදු නොවන බවට අයි.සී.සීය විසින් පාකිස්තානයට සහතිකයක් ලබා දී තිබූ බවයි වාර්තා වුණේ.

top
Comments (0)
Add Comment