මර්නස් ලබුෂේන් රැස් කළ ශතකය හා වර්ෂාවෙන් සිදු වූ දැඩි බලපෑම හමුවේ අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන සිව්වැනි තරගයේ සිව්වැනි දිනය අද (22) නිමා වුණේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම පිළිබද ඔස්ට්‍රේලියානු බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 61 ක් ලබා ගත යුතුයි. අද දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 113 ක්.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මර්නස් ලබුෂේන් ලකුණු 111 කට දවා ගැනීමට ජෝ රූට් සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්. මිචෙල් මාෂ් නොදැවී ලකුණු 31 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 3යි.
වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 30 ක් පමණයි.
උස්මාන් කවාජා ලකුණු 18 කටත්, ඩේවිඩ් වෝනර් ලකුණු 28 කටත් දැවී ගියා. ස්ටීවන් ස්මිත් ලකුණු 17 ක් රැස් කළ අතර, ට්‍රැවිස් හෙඩ් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.
පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් හා ජෝ රූට් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 317 ක්. මර්නස් ලබුෂේන් හා මිචෙල් මාෂ් ලකුණු 51 බැගින් රැස් කළා. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 62 කට කඩුලු 5ක් දවා ගත්තා.
අනතුරුව එංගලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 592 ක්. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සැක් ක්‍රව්ලි පන්දු 182 කින් ලකුණු 189 ක් රැස් කළා. ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 99 ක් හා ජෝ රූට් ලකුණු 84 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 126කට කඩුලු 5 ක් දවා ගත්තා. මිචෙල් ස්ටක් හා කැමරන් ග්‍රීන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.