ලබන වසරේ සිට IPL සමග ගැටෙන්න PSL සූදානමින් – කාලරාමු දෙකම එකට ගැටෙයි

2025 වසරේ සිට පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය අප්‍රේල් – මැයි මාසවලදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනය හා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හය අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, ඊට ඇතැම් කණ්ඩායම්වල කැමැත්ත පලව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2025 වසරේ පෙබරවාරි මාසයේ දී අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින් ලබන වසරේ දී PSL තරගාවලිය අප්‍රේල් 7 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

එසේ වුවහොත් එය ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමග සෘජුවම ඝට්ටනයකට ලක්වනවා. එය PSL කණ්ඩායම්වලට විදෙස් ක්‍රීඩකයින් සමග ගිවිසුම්ගත වීමේ දී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට ඉඩ පවතින බව නොරහසක්.

2016 වසරේ දී ආරම්භ වූ PSL තරගාවලිය මේ දක්වා කිසිදු වසරකදී IPL තරගාවලිය සමග ඝට්ටනයකට මුහුණ නොදුන් නමුත්, ශූරයින්ගේ කුසලාන තරගාවලිය හේතුවෙන් ලබන වසරේ දී එම තරගාවලි දෙක අතර ඝට්ටනයක් සිදු වනු ඇතැයි මීට පෙර ද අපේක්ෂා කෙරුණා.

නමුත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට අවධානය යොමු කර ඇත්තේ PSL තරගාවලිය ලබන වසරේ සිට අඛණ්ඩව පෙබරවාරි – මාර්තු මාසවල නොපවත්වා අප්‍රේල් – මැයි මාසවල පැවැත්වීමටයි.

දෙසැම්බර් – පෙබරවාරි මාසවලදී විදෙස් ප්‍රිමියර් ලීග් තරගාවලි 4 ක් පැවැත්වීමත්, ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමත් පදනම් කර ගනිමින් එම කාලයෙන් PSL තරගාවලිය ඉවත් කිරීම සුදුසු බවට මේ වන විට එරට ක්‍රිකට් ආයතනයේ මතය වී ඇති බව සදහන්. අප්‍රේල්-මැයි මාසවලදී ජාත්‍යන්තර තරගාවලි ද ඉතා අවම බැවින් PSL තරගාවලිය පැවැත්වුවහොත් එය IPL තරගාවලිය සමග පමණක් ඝට්ටනයකට ලක්වනු ඇති.

එමෙන්ම ලබන වසර කිහිපයේ දී රාමසාන් උත්සව සමය ද පෙබරවාරි මාසයට යෙදෙන බැවින් එම කාලයෙන් PSL තරගාවලිය ඉවත් කිරීම ද තරගාවලියට හිතකර වනු ඇති. රාමසාන් උත්සව සමයේ දී තරගාවලිය පැවැත්වීමේ දී තරග වේලාවෙන්ට හා ප්‍රේක්ෂක සහභාගීත්වයට එය බලපාන අතර, වෙළද ප්‍රචාරණ  හා අනුග්‍රාහකත්ව ආදායමට ද එය බලපානු ලබනවා.

මේ අතර, විදෙස් ක්‍රීඩකයින් තරගාවලියට වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීම සදහා ද යම් වැඩපිළිවෙලක් සකස් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මාධ්‍ය හිමිකම් ඔස්සේ එරට ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායමෙන් කොටසක් කණ්ඩායම් හිමිකරුවන්ට ලබා දී ඒ ඔස්සේ වැඩි මිලකට විදෙස් ක්‍රීඩකයින් සමග ගිවිසුම්ගත වීමට එම කණ්ඩායම් වෙත අවස්ථාව ලබා දීමටයි අවධානය යොමු කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 8.8 කට වැඩි මුදලකට විදෙස් ක්‍රීඩකයින් මිලදී ගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙනු ඇති. මේ වන විට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයෙකුට ලැබෙන ඉහළම මුදල වන්නේ රුපියල් කෝටි 6.5 ක පමණ අගයක්.

මේ අතර, පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග (play-offs) එංගලන්තයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.

මෙම සියලු කරුණු සම්බන්ධයෙන් මෙම මස අවසානයේ දී පැවැත්වෙන PSL සංවිධායක මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කර අවශ්‍ය තීන්දු තිරණ ලබා ගැනීමට නියමිතයි.

Comments (0)
Add Comment