රොෂේන් සිල්වා සංචිතයට නැති හේතුව ක්‍රිකට් ආයතනය පහදයි

බංග්ලාදේශ තරග සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ බව අප අද(4) පෙරවරුවේ ඔබට තොරතුරු වාර්තා කළා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් සුපුරුදු පරිදි දරන අතර සංචිතයට වෙනස්කම් කිහිපයක් ද සිදු කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන තිබුණේ.

පසුගිය තරග රැසකදීම අඛණ්ඩව දක්ෂතා අතර රැදී සිටි පැතුම් නිස්සංක මෙම සංචාරය සඳහා නම් කර නැහැ.

වාර්තා වන ආකාරයට ඔහුගේ පිට කොන්ද ආශ්‍රිත ආබාධ තත්ත්වය මෙතෙක් සුව නොවීම හේතුවෙන් ඔහුට බංග්ලාදේශ තරග සංචාරය අහිමි වී තිබෙනවා.

තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරග සංචාරයට ඇතුළත්ව නොමැති තවත් දක්ෂ පිතිකරුවෙකු ලෙස රොෂේන් සිල්වා හැඳින්විය හැකියි.

ජාත්‍යන්තර පිටියේ දී මෙන්ම දේශීය තරග බිමේ දී ද ඉහළ දක්ෂතා දක්වා ඇතත් ඔහුට දිගින් දිගටම පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වූයේ නැහැ.

ඇතැම් තරගාවලි වෙනුවෙන් වන ශ්‍රී ලංකා සංචිතයට ඔහුව නම් කිරීමට මීට පෙර අවස්ථා කිහිපයකදී කටයුතු කර තිබූ නමුත්, අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව ඔහුට මෑතකදී හිමි වූයේ නැහැ.

අවසන් වරට රොෂේන් සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2019 වසරේදී යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ රොෂේන් සිල්වා බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට පළමුව ඇතුළත් කර තිබූ බවයි.

කෙසේ වෙතත්, ඔහු විසින් මෙම තරග සංචාරය සඳහා තමාට සහභාගී වීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

රොෂේන් සිල්වා මෙම තීරණය ගෙන ඇත්තේ මෙම තරගාවලියේදී ද අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පිවිසීමට ඔහුට නොහැකි වනු ඇති බවට අනුමාන කරමින් බවයි වාර්තා වුණේ.

ඒ හේතුවෙන් එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ලීගය වෙනුවෙන් ගිවිසුම් ගතවීමට ද රොෂේන් සිල්වා කටයුතු කර තිබූ බව වාර්තා වුණා.

බංග්ලාදේශ තරග සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එළඹෙන 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Comments (0)
Add Comment