රාහුල්ගේ ශතකය හේතුවෙන් පළමු දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට

Day 1 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස අද(26) සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 272ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ආරම්භක පිතිකරු කේ.එල් රාහුල් ලකුණු 122 ක් හා අජින්කෙයා රහානේ ලකුණු 40 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

රාහුල් අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වන ටෙස්ට් ශතකයයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස මයාන්ක් අගාර්වල් ලකුණු 60කට දැවී ගියේ ලුන්ගි එන්ගිඩීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.

අනතුරුව යොමු කළ පළමු පන්දුවෙන්ම චෙටස්වර් පුජාරාගේ කඩුල්ල ද දවා ගැනීමට එන්ගිඩී සමත් වීම විශේෂත්වයක්.

නායක විරාට් කෝලි ලකුණු 35 කට දවා ගත්තේ ද ලුන්ගි එන්ගිඩී විසින්.

 

Comments (0)
Add Comment