රෂීඩ් ඛාන්ගෙන් ටෙස්ට් පිටියට තාවකාලික විවේකයක්

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලද වෛද්‍ය නිර්දේශ මත රෂීඩ් මෙලෙස ටෙස්ට් පිටියෙන් විවේකයක් ලබා ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු 20 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන මූලික සංචිතයට ද රෂීඩ් ඛාන් නම් කර නැහැ.

ඔහුට කොපමණ කාලයක් ටෙස්ට් පිටියෙන් විවේක ගැනීමට සිදු වනු ඇත්දැයි මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව රෂීඩ් ඛාන් පිට කොන්ද ආශ්‍රිත ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහුට මාස 4ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට ද සිදු වුණා.

එම ශල්‍යකර්මයෙන් පසුව ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ විස්සයි 20 තරග පමණයි.

top
Comments (0)
Add Comment