සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(14) අලුයම නිමා වුණේ තරගයේ පාලනය තවදුරටත් ඉන්දියාවට නතු කරමින්.
ඩොමිනිකා හි Windsor Park ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය දෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 80 ක් ලබා සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 312 ක්.
නායක රෝහිත් ෂර්මා හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ යශස්වි ජයිස්වාල් පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 229 ක්.
සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ෂර්මා ලකුණු 103 කට දැවී ගියා. පන්දු 221 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.
මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 143 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු 350 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත්ව තිබෙනවා.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ තරගයේ දී ම ශතකයක් වාර්තා කළ 17 වැනි ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.
අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ෂුබ්මන් ගිල් ලකුණු 6කට දැවී ගියා. විරාත් කෝලි නොදැවී ලකුණු 36 යි.
පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙක පිළිවෙලින් දවා ගත්තේ Alick Athanaze හා Jomel Warrican. මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන Athanaze ගේ මංගල ටෙස්ට් කඩුල්ල වූයේ ද ෂර්මාගේ කඩුල්ලයි.
තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි. Alick Athanaze ලකුණු 47 ක් රැස් කළා. පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 60 කට කඩුලු 5 ක් දවා ගත්තා.
ඒ අනුව ඉන්දියාව මේ වන විට සිය පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 162 ක්.