මෙහිදිගේ නායකත්වයෙන් බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ – ශකිබ් තවදුරටත් ජාතික සංචිතයට නැහැ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් නිත්‍ය නායක නජ්මුල් හොසේන් ශන්තෝට කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලිය ද අහිමි වී ඇති බැවින් ටෙස්ට් තරගාවලියේදී වැඩබලන නායකයා ලෙස කටයුතු කළ මෙහිදි හසාන් මිරාස් එක්දින තරගාවලියේදී ද බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

ශකිබ් අල් හසාන් මෙම එක්දින තරගාවලිය සදහා ද නම් කර නැහැ. ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහු මෙතෙක් බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කර නැහැ. ඔහු “රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තරම් මානසික තත්ත්වයක” නොමැති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Faruque Ahmed සදහන් කළේ.

මෑතකදී පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටියදී ආබාධයකට මුහුණ දුන් මැදපෙල පිතිකරු තව්හිද් හ්රිදෝයිට ද එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා. ඇගිල්ලක ආබාධයකට ලක් වූ මුෂ්ෆිකර් රහීම් තවමත් ඉන් සුවය ලබා නොමැති බැවින් මෙම තරගාවලියට නම් කර නැහැ. මුස්ටර්ෆිසුර් රහ්මාන් පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

වමත් ආරම්භක පිතිකරුවෙකු වන සාකීර් හසාන් එක්දින සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඇෆ්ඝනිස්තානය සමග පැවැති එක්දින තරගාවලිය අහිමි වූ ලිටොන් දාස් යළි එක්දින සංචිතයට කැදවා තිබෙනවා. පර්වේස් හොසේන් එමෝන්, අෆිෆ් හොසේන්, හසාන් මහ්මුද් හා ටන්සිම් හසාන් සකිබ් ද සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසුව එළඹෙන 8, 10 හා 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Bangladesh ODI squad vs West Indies :

Mehidy Hasan Miraz (capt), Litton Das (wk), Tanzid Hasan, Soumya Sarkar, Parvez Hossain, Mahmudullah, Jaker Ali, Afif Hossain, Rishad Hossain, Nasum Ahmed, Taskin Ahmed, Hasan Mahmud, Shoriful Islam, Tanzim Hasan, Nahid Rana.

Comments (0)
Add Comment