මෙන්ඩිස් අඛණ්ඩව තෙවැනි වරටත් ලකුණු නොලබා දැවී යයි – ශ්‍රී ලංකාව ලකුණු 5ක් ඉදිරියෙන්

Day 2 Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(4) නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91ක් සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 18ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ළහිරු තිරිමාන්න ලකුණු 31කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් මෙම ඉනිමේ දී ද ලකුණු නොලබා දැවී ගියා.

ඔහු අවසන් ඉනිම් ත්‍රිත්වයේ දී ම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 302කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

සිය 13 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ඩීන් එල්ගර් ලකුණු 127ක් රැස් කළ අතර, රසී වැන් ඩර් ඩසන් ලකුණු 67යි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 157ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 5ක්.

Comments (0)
Add Comment