මිනෝද්ගේ සටන්කාමී ශතකය අපතේ යයි ; ඇෆ්ඝනිස්තානයට තියුණු ජයක්

Match Report

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (ACC Emerging Teams Asia Cup) 6 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම හමුවේ ලකුණු 11ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට අද(15) සිදු වුණා.

කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 252 ක් රැස් කළා.

Riaz Hassan ලකුණු 82 ක් ලබා ගත් අතර, Noor Ali Zadran ලකුණු 53 ක් රැස් කළා.Ikram Alikhil නොදැවී ලකුණු 34 යි.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 56 කට කඩුලු 3 ක් දවා ගත්තා. ලහිරු සමරකෝන් හා දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 38.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 241 ක් පමණයි.

අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 7යි. පසිදු සූරියබණ්ඩාර ද ලකුණු නොලබා දැවී ගියා. සහන් ආරච්චිගේ ලකුණු 3කට දැවී ගිය අතර, අශේන් බණ්ඩාර රැස් කළේ ලකුණු 19 ක් පමණයි. චාමික කරුණාරත්න ලකුණු දෙකකට දැවී ගියා.

කෙසේ වෙතත්, හුදෙකලා සටනක නිරත වූ මිනෝද් භානුක පන්දු 103 කින් ලකුණු 119 ක් රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 17 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

දුෂාන් හේමන්ත ලකුණු 31 ක් හා නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 21 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහමඩ් ඊබ්‍රහීම් ලකුණු 52 කට කඩුලු 4 ක් දවා ගත්තා.

big 3
Comments (0)
Add Comment