සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද (22) ජය පරාජයන් තොරව නිමා වුණා. කෙසේ වෙතත්, තරගාවලියේ ජය තරග 1-0 ක් ලෙස හිමි වුණේ කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකා A කණ්ඩායමටයි.
කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති දෙවැනි සිව්දින තරගය ජය ගැනීම සදහා ලකුණු 324 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා A කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 156 ක්.
ආරම්භක පිතිකරුවන් වූ Matthew Breetzke ලකුණු 38 ක් හා නායක Tony de Zorzi ලකුණු 35 ක් රැස් කළා. Tristan Stubbs රැස් කළේ ලකුණු 12 ක් පමණයි. Keegan Petersen ලකුණු 29යි.
Zubayr Hamza නොදැවී ලකුණු 24 ක් හා Kyle Verreynne නොදැවී ලකුණු 8 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.
පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 ක් හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් බිද හෙලුවා.
දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 230 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 327 ක් ලබා සිටියදීයි.
නිශාන් මදුෂ්ක ලකුණු 40 කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 30 කටත් දැවී ගියා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මිනෝද් භානුක ලකුණු 130 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් සමගින්.
පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 113 යි. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 254 ක්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290 ක් රැස් කළා. පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා A කණ්ඩායම සියලු පිතිකරුවන් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 294 ක්.