මිකී ආතර් LPL පිටියට ; සන්නාම තානාපතිවරුන් තිදෙනෙක්

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයට මිකී ආතර් ඇතුළත් කර තිබෙනවා.

තෙවැනි වරට මෙවර සංවිධාන කරන එල්.පී.එල් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ අද(17) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා මේ බව සදහන් කළා.

මිකී ආතර් මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස (Head of Cricket) කටයුතු කරනවා.

දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර එල්.පී.එල් තරගාවලිය සදහා සන්නාම තානාපතිවරුන් තිදෙනෙකු පත් කර තිබෙනවා.

බටහිර ඉන්දිය කොදෙව් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්, පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් හා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය යන මහත්වරුන් එලෙස සන්නාම තානාපතිවරුන් ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර තරගාවලිය සදහා ඉන්දියාවෙන් ක්‍රීඩකයින් සම්බන්ධ නොවන බව සදහන් කළ සමන්ත දොඩංවෙල මහතා වැඩිදුරටත් සදහන් කළේ අගෝස්තු මාසයේ දී තරගාවලිය පැවැත්වීමට හැකි වූයේ නම් ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ක්‍රීඩකයින් ද තරගාවලියට එක්වීමට සූදානම්ව සිටි බවයි.

කෙසේ වෙතත්, එළඹෙන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් එම ක්‍රීඩකයින් එල්.පී.එල් තරගාවලියට මෙවර සම්බන්ධ නොවන බව හෙතෙම කියා සිටියා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථික අර්බුදය පදනම් කර ගනිමින් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් කළ ඉල්ලීමක් සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය කල් දැමීමට කටයුතු කළා.

තරගාවලිය මෙවර ක්‍රීඩාංගන 3 කදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට සියලු කණ්ඩායම් විසින් සිය සංචිත සදහා ක්‍රීඩකයින් තෝරා ගෙන අවසන්ව ඇති බවත්, අවසන් සංචිත ඉදිරියේ දී නිල වශයෙන් නිවේදනය කරන බවත් සමන්ත දොඩංවෙල මහතා සදහන් කළා.

big 3