මැතිව්ස්ට පක්ෂපාතී වූ ඇලන් ඩොනල්ඩ් ධූරයෙන් ඉවත් වෙයි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව බංග්ලාදේශ වේග පන්දු යවන පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ(09) පූනේ හී දී පැවැති කණ්ඩායම් රැස්වීමකදි ඔහු මේ බව අනාවරණය කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් ඩොනල්ඩ් එරට කණ්ඩායමේ වේග පන්දු යැවිමේ පුහුණුකරු ධූරය භාර ගත්තේ 2022 වසරේ මාර්තු මාසයේ දී යි.

කෙසේ වෙතත්, පසුව ඔහුගේ කොන්ත්‍රාත් කාලය 2023 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු දීර්ඝ කිරීමට පියවර ගැණුනා.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ විශාල වෙනසක් සිදු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව ද සදහන්.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් ‘timed out’ ක්‍රමවේදය යටතේ දවා ගැනීමට බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් කටයුතු කිරීම විවේචනයට ලක් කිරිමට ඇලන් ඩොනල්ඩ් මීට පෙර ක්‍රියා කළ අතර, එලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කරන ලෙසට ඔහුට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගියදා දන්වා තිබූ පසුබිමකයි ඔහු තවදුරටත් එම ධූරයේ කටයුතු නොකිරීමට මේ වන විට තීරණය කර ඇත්තේ.

Comments (0)
Add Comment