සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට තරග 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින් දෙරට අතර පැවැති අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි විස්සයි 20 තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 164 ක ඉලක්කය කොදෙව්වන් පසු කර ගියේ පන්දුවාර 13.5 ක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී සිටියදීයි.
ආරම්භක පිතිකරුවන් වූ නායක බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 44(28) ක් හා ජොන්සන් චාර්ල්ස් ලකුණු 69(26) ක් රැස් කළා. චාර්ල්ස්ගේ වේගවත් ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 9කින් වර්ණවත් වුණා. ක්යල් මේයර්ස් නොදැවී ලකුණු 36 යි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 31 කින් ලකුණු 51 ක් රැස් කළ රසී වැන් ඩර් ඩසන්. හයේ පහර 5ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. වියාන් මෝල්ඩර් ලකුණු 36 යි.
පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකෝයි ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ශමාර් ජෝසප් හා ගුඩකේෂ් මෝති කඩුලු දෙක බැගින් බිද හෙලුවා.