සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (16) දිනයේදී නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක් අත්කරදෙමින්.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ට පරාජයක් උරුම වූ අතර, ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට බංග්ලාදේශයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට (1-2) සිදු වුණා.
මෙහිදී බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයකට ලක්වූයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළත් ප්‍රථමෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නයකයා ගත් තීරණයයි.
කෙත්තාරාම ක්‍රිකට් පිටියේදී අවසන් වසර 4 තුළ ( 2021 වසරේ සිටි ) ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම ජයග්‍රහනය කර තිබුණේ අවස්ථා දෙකකදී පමණයි. අවස්ථා 10 කදීම හඹා ගිය කණ්ඩායම ජයග්‍රහන වාර්තා කළා.
එමෙන්ම අවසන් වරට එම ක්‍රීඩාංගනයේ පැවැති විස්සයි 20 තරග අටම ජය ගත්තේ දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායමයි.
මේ පිළිබඳව තරගය අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පල කළේ මෙවන් අදහසක්.
“කාසියේ වාසිය ගැන කියනවා නම්, මුළින්ම මම දඹුල්ලෙන් පටන් ගන්නම්… අපි විස්සයි 20 ලෝක කුසලානයකට යනවානම් – අපි හොද කණ්ඩායමක්නම් ඉතිං ඒ වගේ තණතීරුවක ලකුණු 178 ක් චේස් කරන්න පුලුවන් වෙන්න ඕනේ.” යනුවෙන් අසලංක සදහන් කළා.
“මම අහන්නේ කාසියේ වාසිය පැරදුනා නම් මොකද කරන්නේ අපි ? එතකොට අපි ක්‍රීඩකයන් වශයෙන් පුරුදු වෙන්න ඕනේ ඒ ගොල්ලො අපිට ලබාදෙන දේ කරන්න… සමහරවිට අද අතපසුවීමක් වෙන්න ඇති… මමත් කෝචුත් කණ්ඩායමේ හැමෝමත් හිතුවේ කෙත්තාරාමේ දෙවන ඉනිමෙදී විකට් එක ස්ලෝව් වෙයි කියලා ෆස්ට් ඉනින්ග්ස් එකට වැඩිය… අපි හිතපු දේ වුණේ නැහැ…”
“මම හිතන්නේ ක්‍රීඩකයන් විදිහට අපි කාසියේ වාසිය බලාපොරොත්තු නොවී එන දේ හරියට කරන්න පුරුදු වෙන්න ඕනේ..”
“වර්ල්ඩ් කප් එකකට යද්දී සමහර විට අපිට ඕන කරන ක්‍රීඩාංගන හම්බෙන්නේ නැහැ… ෆස්ට් රවුන්ඩ් මෙහෙ සෙල්ලම් කරාට සකන්ඩ් රවුන්ඩ් ඉන්දියාවේ හම්බෙයි. එතකොට අපි දන්නේ නෑ මොකද කරන්නේ කියලා. වෘත්තීමය ක්‍රීඩකයෝ විදිහට මුලින් බැට් කරත් බෝල් කරත් තමන්ගේ වගකීම ඉටු කරන්න පුරුදු වෙන්න ඕනේ ”