බුම්රා ලෝකෙන්ම යළි එක වෙයි – කමිදු හා ප්‍රභාත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණට පත් වීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට හැකි වී තිබෙනවා. ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 8ක් දවා ගනිමින් දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ බුම්රා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණෙමින් යළි පළමු ස්ථානය හිමි කර ගෙන තිබෙනවා. ඔහුට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 883 ක් හිමිව ඇති අතර, එය බුම්රා සිය ටෙස්ට් දිවියේ ලබා ගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවයි.

කාගිසෝ රබාඩා දෙවැනි ස්ථානය දක්වාත්, ජොෂ් හේසල්වුඩ් තෙවැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් පසුබැස ඇති අතර, ආර් අශ්වින් සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, ප්‍රභාත් ජයසූරිය 5 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

පැට් කමින්ස් 6 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන දෙකකින්. රවීන්ද්‍ර ජඩේජා 7 වැනි ස්ථානය දක්වාත්, නේදන් ලයන් 8 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් පසුබැස ඇති බව අයි.සී.සීය සදහන් කළා.

කොදෙව් දූපත්හි ජෙයිඩ්න් සීල්ස් 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර, අසිත ප්‍රනාන්දු  14 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා. කෙමා රෝච් 17 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 4 කින්.

මේ අතර, ජෝ රූට් පෙරමුණේ පසුවන ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට යශස්වි ජයිස්වල් සමත්ව තිබෙනවා. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලබා ගත් ලකුණු 161 හේතුවෙන්.

කේන් විලියම්සන් 3 වැනි ස්ථානය දක්වා ද, හැරී බෘෘක් සිව්වැනි ස්ථානය දක්වා ද පසුබැස තිබෙනවා. ස්ටීව් ස්මිත් 7 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර, ඩැරල් මිචෙල් 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.

කමිදු මෙන්ඩිස් 9 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, සවුද් ශකීල් 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, ට්‍රැවිස් හෙඩ් 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

උස්මාන් කවාජා 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් පසුබසිද්දී, මර්නස් ලබුෂේන් සම 14 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 4 කින්.

දිමුත් කරුණාරත්න 14 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ධනංජය ද සිල්වා 16 වැනි ස්ථානය දක්වාත්, දිනේෂ් චන්දිමාල් 19 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් පසුබැස තිබෙනවා.

මේ අතර, එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩිට අහිමි වී ඇති අතර, එහි පෙරමුණ මේ වන විට හිමිව ඇත්තේ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්ටයි. අෆ්රිඩිව සිම්බාබ්වේ සමග මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියෙන් විවේක ගැන්වීමට තීරණය කෙරුණු අතර, ඒ අනුව පළමු එක්දින තරග දෙක ඔහුු ක්‍රීඩා නොකිරීමත් සමග ඔහු මේ වන විට දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

top
Comments (0)
Add Comment