බුම්රාට IPL හා WTC අවසන් තරගයත් අහිමි වන ලකුණු

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාගේ ආබාධ තත්ත්වය මීට පෙර හදුනා ගත් තත්ත්වයට වඩා බරපතල තත්ත්වයක පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මීට පෙර අපේක්ෂා කළ කාලයට වඩා වැඩි කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එසේ වුවහොත් තවත් මාසයකින් පමණ ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙන්ම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය (ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත්) ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා.

ආබාධය හේතුවෙන් මේ වන විටත් මාස 5 ක පමණ කාලයක් බුම්රාට ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ඔහු තවත් දීර්ඝ කාලයක් විවේක ගැනීමට සූදානමින් පසුවන බව සදහන්.

ඉන්දීය කණ්ඩායමේ කලමනාකාරීත්වයේ අරමුණ වී ඇත්තේ ජස්ප්‍රිට් බුම්රාව ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් කරවීමයි.

පිට කොන්දේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් බුම්රාට පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

big 3
Comments (0)
Add Comment