බාබර්-මසූඩ්ගෙන් ද්විත්ව ශතක සම්බන්ධයක් ; පාකිස්තානය තවදුරටත් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

Day 3 Report

පාකිස්තාන නායක ශාන් මසූඩ් හා බාබර් අසාම් පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 205 ක අගනා සම්බන්ධතාවය ද පසෙකලා තවදුරටත් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි පාලනය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

කේප් ටවුන්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය නිමා වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 213 ක් ලබා සිටියා. ඒ, පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු 615 ට පිළිතුරු ලෙස පාකිස්තාන පළමු ඉනිම ලකුණු 194 කට සීමා වූ පසුබිමකයි.

ශාන් මසූඩ් නොදැවී ලකුණු 102 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, බාබර් අසාම් ලකුණු 81 කට දැවී ගියා. කුරාම් ශෙහ්සාඩ් නොදැවී ලකුණු 8යි.

තෙවැනි දිනය ආරම්භ කරන විට පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 64 ක් ලබා සිටි අතර, ලකුණු 194 කට සීමා වූ පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 58 ක් ලබා ගත් බාබර් අසාම්. මොහමඩ් රිස්වාන් ලකුණු 46 කට දැවී ගියා.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා කඩුලු 3 ක් ද, ක්වේනා මාපාක හා කේශාව් මහරාජ් කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

මේ වන විට පාකිස්තානය ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා තවත් ලකුණු 208 ක් පිටුපසින් පසුවනවා. ආරම්භක පිතිකරු සයීම් අයුබ් පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්ව මෙම තරගයෙන් ඉවත් කර ඇති බැවින් පාකිස්තානය එක් පිතිකරුවෙකු නොමැතිවයි තරග වදිමින් සිටින්නේ.

Comments (0)
Add Comment