බ්‍රිස්බේන් ක්‍රීඩාංගනයට අයි.සී.සීයෙන් දඩුවම් ලකුණක්

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ (below average) බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ රිචී රිචර්ඩ්සන් මේ බව තීරණය කර ඇති අතර, ඒ අනුව ක්‍රීඩාංගනයට එරෙහිව දඩුවම් ලකුණක් ද (demerit point) පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය දින දෙකක් තුළ දී අවසන් වූ අතර, ක්‍රියාත්මක වූයේ පන්දු 866 ක් පමණයි. ඒ අනුව එය ඔස්ට්‍රේලියාවේ දී අඩුම කාලයක් ක්‍රියාත්මක වූ ටෙස්ට් තරග අතරින් දෙවැනි ස්ථානයට පත් වුණා.

ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තරග තීරකවරයාගේ වාර්තාව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති බව ද ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

තරගයක් සදහා යොදා ගැනෙන තණතීරුව නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක් ඇති බවට නියම කෙරෙන අවස්ථාවලදී එක් දඩුවම් ලකුණක් පනවනු ලබනවා.

තණතීරුවක් “දුර්වල” යැයි තරග තීරකවරයා විසින් ප්‍රකාශයට පත් කළහොත් දඩුවම් ලකුණු 3ක් ද, “නුසුදුසු” යැයි තීරණය කළහොත් දඩුවම් ලකුණු 5ක් ද පනවනු ලබනවා.

වසර 5ක කාලයක් සදහා මෙම දඩුවම් ලකුණු වලංගු වනවා.

දඩුවම් ලකුණු ප්‍රමාණය 5 දක්වා හෝ ඊට වඩා වැඩි වන විට අදාළ ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරග සංවිධාන කිරීම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මාස 12කට අත්හිටුවනු ලබනවා.

big 3