බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ කලෙඩ් මහ්මූද්ට දඩ නියම කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ, මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔහු විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කුල්නා ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කලෙඩ් මහ්මූද් Fortune Barishal කණ්ඩායමට එරෙහිව පසුගිය 10 වැනිදා පැවැති තරගයේ දී ක්‍රීඩක විවේකාගාරය තුළ දුම් පානය කරමින් සිටින ආකාරය ඇතුළත් ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ලොවපුරා හුවමාරු වනු දක්නට ලැබුණා.
ඒ අනුව ඔහු විසින් බංග්ලාදේශ ක්‍රිකට් විනය නීති සංග්‍රහය යටතේ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනිව හැසිරීම යන 2.20 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
මෙම වරද හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 30 % ක දඩ මුදලක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.
දඩ මුදලට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු දෙකක් ද පැනවීමටයි තීරණය කර ඇත්තේ.
තරග තීරකවරයා විසින් ලබා දුන් දඩුවම කලෙඩ් මහ්මූද් විසින් පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.
මේ අතර, රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමේ මහෙදි හසාන්ට හා නිකලස් පූරාන්ට මෙන්ම කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ මුසඩැක් හොසේන්ට ද තරග අතරතුර දී ක්‍රීඩක විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් දඩ පනවා තිබෙනවා.
මහෙදි විසින් ක්‍රිකට් උපකරණ අනිසි ලෙස භාවිතා කරමින් 2.2 වගන්තිය උල්ලංඝනය කළ බවට (පළමු මට්ටමේ වරදක්) චෝදනා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 25 % ක දඩ මුදලක් හා විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් පනවා තිබෙනවා.
පූරාන් විසින් බංග්ලාදේශ ක්‍රිකට් ඇදුම් රෙගුලාසි උල්ලංඝනය කරමින් 2.22 වගන්තිය උල්ලංඝනය (පළමු මට්ටමේ වරදක්) කර ඇති බැවින් ඔහුට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් හා දඩුවම් ලකුණු දෙකක් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.
මුසඩැක් හොසේන්ට තරග ගාස්තුවෙන් 25% ක දඩයක් හා දඩුවම් ලකුණක් පනවා තිබෙනවා. ඒ, ඔහු විසින් ලාංඡන මාර්ගෝපදේශ (logo guideline) උල්ලංඝනය කිරීම හේතුවෙන්. (2.22 වගන්තිය) (පළමු මට්ටමේ වරදක්)