පෙබරවාරි 4 වැනිදා තීරණාත්මක රැස්වීමක්

එළඹෙන පෙබරවාරි 4 වැනිදා ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමක් බහරේන් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙතයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් ද මෙම රැස්වීම සදහා එක් වීමට නියමිත අතර, ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය කර ගැනීමට මෙම රැස්වීමේ දී අවධානය යොමු වනු ඇති.

අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සත්කාරක අයිතිය පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු වුව ද, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර සදහන් කළේ දෙරට අතර පවතින දේශපාලනික ගැටුම් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

එම ප්‍රකාශයත් සමග ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සිය කණ්ඩායම ක්‍රීඩා කිරීමෙන් වලකින බවට පාකිස්තානය තර්ජනය කර සිටියා.

මෙවැනි පසුබිමක් යටතේ පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන රැස්වීම සදහා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර, තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව එහිදී නිරාකරණය කර ගනු ඇති බවට විශ්වාස කෙරෙනවා.