සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු ක්‍රිකට් තරගය අද(14) වොස්ටර් හී දී ආරම්භ වුණා.
වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වයත් සමග ක්‍රීඩාංගනයේ පැවැති තෙත සහිත තත්ත්වය හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ලබා දීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.
ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා නිශාන් මදුෂංක ලකුණු 36 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. දිමුත් ලකුණු 26 කටත්, මදුෂ්ක ලකුණු 11 කටත් දැවී ගියා.
කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 12 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලබා ගත්තේ ලකුණු 11 ක් පමණයි.
නායක ධනංජය ද සිල්වා ලකුණු දෙකකට හා සධීර සමරවික්‍රම ලකුණු 8කට දැවී ගියා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 20 ක් මිලාන් රත්නායක ලකුණු 17 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Zaman Akhter ලකුණු 32 කට කඩුලු 5 ක් දවා ගත් අතර, Josh Hull ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලුවා.