පාකිස්තානය සුපිරි පන්දුවාරයේ දී පරදා ලෝක කුසලානයේ පළමු පෙරළිය ඇමෙරිකාවෙන්

Match Report

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පෙරළිය සිදු කරමින් තරගාවලියේ 11 වැනි තරගයේ දී ප්‍රබල පාකිස්තානය පරදා සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කිරීමට සම සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදය සමත් වුණා.

ඩලස්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාව ද පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා ගත්තේ ලකුණු 159 ක් පමණයි.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණා. පාකිස්තානය වෙනුවෙන් මොහමඩ් අමීර් විසින් සුපිරි පන්දුවාරය යොමු කළ අතර, එම පන්දුවාරයට ඇමෙරිකාව කඩුල්ලක් දැවී ලකුණු 18 ක් රැස් කළා. ඒ, අතිරේක ලකුණු 7 ක් ද සමගින්. (දර්ශන පහතින්)

පිළිතුරු ලෙස ඇමෙරිකාව වෙනුවෙන් සුපිරි පන්දුවාරය යොමු කළේ Saurabh Netravalkar විසින්. ඉෆ්ටිකාර් අහ්මඩ් හා ෆකාර් සමාන් පන්දුවට පහර දීමට පිවිසි අතර, ඉෆ්ටිකාර් ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියේ 3 වැනි පන්දුවේදීයි. ශඩාබ් ඛාන් අනතුරුව පිටියට පිවිසි නමුත්, පාකිස්තානය ජයග්‍රනය කරා රැගෙන යාමට ඔහුට හැකි වූයේ නැහැ. පාකිස්තානය එම පන්දුවාරයේ දී කඩුල්ලක් දැවී ලබා ගත්තේ ලකුණු 13 ක් පමණයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ නායක බාබර් අසාම්. ඔහු පන්දු 43 කින් ලකුණු 44 ක් රැස් කළා. ශඩාබ් ඛාන් ලකුණු 40(25)යි. සෙසු කිසිදු මුල්පෙල හෝ මැද පෙල පිතිකරුවෙකුගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

ශහීන් ශාහ් අෆ්රිඩි නොදැවී ලකුණු 23(16) ක් රැස් කළ අතර, ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 18යි. පන්දු යැවීමේ දී Nosthush Kenjige ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Saurabh Netravalkar ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඇමෙරිකානු ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 36 කට සීමා කරමින් Steven Taylor ලකුණු 12 කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 68 (48) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නායක Monank Patel හා Andries Gous සමත් වුණා.

Andries Gous පන්දු 26 කින් ලකුණු 35 ක් රැස් කර සිටියදී දැවී ගියා. නායකත්වයේ වගකීම ඉහළින්ම ඉටු කළ Monank Patel පන්දු 38 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 50 ක්. හයේ පහරක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Aaron Jones පන්දු 26 කින් නොදැවී ලකුණු 36 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට සමත් වුණා. හැරිස් රවුෆ් යොමු කළ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමිනුයි Nitish Kumar තරගය සුපිරි පන්දුවාරයකට රැගෙන ගියේ. Nitish Kumar නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 14(14) ක්.

පන්දු යැවීමේ දී මොහමඩ් අමීර්, නසීම් ශාහ් හා හැරිස් රවුෆ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

සුපිරි පන්දුවාරයේ දර්ශන කිහිපයක් පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Comments (0)
Add Comment