‘පාකිස්තානයේ අභිමානය වැදගත්’ – ශූරයින්ගේ කුසලානයේ අලුත්ම තත්ත්වය PCB සභාපති පහදයි

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට නොපැමිණීමට හේතු සම්බන්ධයෙන් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සිය ආයතනය දැනුවත් කර නොමැති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

සිය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැනුවත් කිරීමෙන් පසුව අයි.සී.සීය ඒ පිළිබදව පාකිස්තානයට දැනුම් දුන්නා. කෙසේ වෙතත්, අනතුරුව ඊට හේතු විමසා මීට සතියකට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය අයි.සී.සීය වෙත ලිපියක් යොමු කළා.

එහිදී පාකිස්තානය සදහන් කර සිටියේ අදාළ තීරණය සම්බන්ධයෙන් ලිඛිත කරුණු දැක්වීමක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවශ්‍ය බවයි. එමෙන්ම සිය තීරණය අයි.සී.සීයට දැනුම් දුන් දිනය පිළිබදවද පාකිස්තානය ඉන්දියාවෙන් විමසා සිටිනවා.

ඉන්දියාවෙන් ප්‍රතිචාර ලැබීමට ප්‍රමාද වී ඇති පසුබිමක වුව ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් තමා ධනාත්මක අපේක්ෂාවන් සහගතව තවදුරටත් පසුවන බවයි.

“අපි අයි.සී.සීයට අපේ ප්‍රශ්න යොමු කළා. අපි තවමත් බලාගෙන ඉන්නවා ඔවුන්ගේ ප්‍රතිචාරය ලැබෙන තුරු. ක්‍රීඩාව සහ දේශපාලනය වෙන වෙනම පවතින්නේ, කිසිම රටක් මේ දෙක පටලවා ගත යුතු නැහැ කියලා මම විශ්වාස කරනවා. තවමත් ශූරයන්ගේ කුසලානය ගැන මට ධනාත්මක බලාපොරොත්තු තියෙනවා.” යනුවෙන් Mohsin Naqvi ලාහෝර්හීදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියා.

තරගාවලිය පාකිස්තානයේ දී හා වෙනත් රටකදී පැවැත්වීමට අදාළ දෙමුහුන් ක්‍රමවේදයට එකග නොවන බව ද සභාපතිවරයා මෙහිදී යළිත් තහවුරු කර සිටියා.

“මේ මොහොතේදී ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලැබූ සෑම කණ්ඩායමක්ම පැමිණෙන්න (පාකිස්තානයට) සූදානම්. කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑ. මම අදත් කියනවා, ඉන්දියාවට යම් ගැටලුවක් තියෙනවානම් ඒවා ගැන අපිට කියන්න. අපිට එම ගැටලු විසදිය හැකියි. මම හිතන්නේ නෑ ඔවුන් නොපැමිණීමට හේතුවක් තියෙනවා කියලා.”

පාකිස්තානයෙන් මෙම තරගාවලිය සම්පූර්ණයෙන් ඉවත් කර වෙනත් රටකදී පැවැත්වීමට අයි.සී.සීය තීරණය කළහොත් තරගාවලිය වර්ජනය කරන්නේදැයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණු අතර, ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා කියා සිටියේ “පකිස්තානයේ අභිමානය මූලික වැදගත්කමක් දරනවා.” යනුවෙනුයි.

මේ අතර, තරගාවලියට පිරිනමන කුසලානය රැගත් කුසලාන චාරිකාව පසුගිය සෙනසුරාදා ආරම්භ කළ නමුත්, එහි ගමන් මාර්ගයට ද අයි.සී.සීය සමග එක්ව ඉන්දියාව විරෝධය පල කිරීමත් සමග කුසලාන චාරිකාවේ ගමන් මාර්ගයට සංශෝදනයක් සිදු කිරීමට ද සිදු වුණා.

පසුගිය සතියේ දී පාකිස්තානය විසින් කුසලාන චාරිකාවට අදාළ ගමන් මාර්ගය නිවේදනය කළ අතර, එම ගමන් මාර්ගයට ඉන්දියාව හා පාකිස්තානයේ මතභේදයට තුඩු දී ඇති භූමියක් වන පාකිස්තාන පාලනය සහිත කාශ්මීරයේ මුසාෆරාබාද් නුවර ද ඇතුළත්ව තිබුණා.

එම නගරය කුසලාන චාරිකාවේ ගමන් මාර්ගයෙන් ඉවත් කරමින් සංශෝදිත ගමන් මාර්ගයක් හරහා චාරිකාව සිදු කරන නමුත්, සම්පූර්ණයෙන් අවලංගු කිරීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි Mohsin Naqvi පෙන්වා දුන්නේ.

ශූරයින්ගේ කුසලානය එම තරගාවලියට ක්‍රීඩා කරන සෙසු රටවල් හතේ ද රැගෙන යාමෙන් පසුව ජනවාරි 27 වැනිදා යළි පාකිස්තානයට රැගෙන ඒමට නියමිතයි.

මේ අතර, තරගාවලියේ තරග කාලසටහන අයි.සී.සීය විසින් කඩිනමින් ප්‍රකාශ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සභාපති Mohsin Naqvi සදහන් කළා.

top
Comments (0)
Add Comment