2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයෙන් කැනඩාව පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(11) සමත් වුණා.
නිව් යෝර්ක්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැනඩාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 106 ක් රැස් කළා.
ආරෝන් ජොන්සන් පන්දු 44 කින් ලකුණු 52 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්. පන්දු යැවීමේ දී මොහමඩ් අමීර් ලකුණු 13 කට කඩුලු 2 ක් ද, හැරිස් රවුෆ් ලකුණු 26 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 15 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.
මොහමඩ් රිස්වාන් පන්දු 53 කින් ලකුණු 53 ක් රැස් කළ අතර, නායක බාබර් අසාම් ලකුණු 33(33)කට දැවී ගියා. පන්දු යැවීමේ දී Dilon Heyliger ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගත්තා.