ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ නොවැම්බර් 22 වැනිදා පර්ත්හී දී ආරම්භ වන පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය නායක රෝහිත් ෂර්මාට අහිමි වී තිබෙනවා.
ඔහු හා ඔහුගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් සිටි බැවින් රෝහිත් ෂර්මා ඉන්දීය සංචිතය සමග ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටියේ නැහැ.
කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා රෝහිත් ෂර්මාගේ බිරිද විසින් දෙවන දරු ප්‍රසූතිය සිදු කර තිබූ බැවින් ෂර්මා පළමු ටෙස්ට් තරගයට පෙර කණ්ඩායම සමග එක් වීමට ඇතැම් විට ඉඩ ඇති බවට ද අපේක්ෂා කෙරුණා.
නමුත්, පළමු ටෙස්ට් තරගය සදහා තමන් එක් නොවන බවත්, දෙසැම්බර් 6 වැනිදා ඇඩිලේඩ්හී දී ආරම්භ වන දිවා රාත්‍රී ටෙස්ට් තරගය සදහා තමන් එක් වීමට සූදානම් බවත් ෂර්මා මේ වන විට එරට තේරීම් කමිටුව වෙත දැනුම් දී ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
නොවැම්බර් 30 වැනිදා Australian Prime Minister’s XI කණ්ඩායම සමග ආරම්භ වන දෙදින පුහුණු තරගය සදහා ද ඔහු ක්‍රීඩා කරනු ඇති.
රෝහිත් ෂර්මාට පළමු ටෙස්ට් තරගය අහිමි වන බැවින් උප නායක ජස්ප්‍රිට් බුම්රා පර්ත් ටෙස්ට් තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. බුම්රා මීට පෙර එක් ටෙස්ට් තරගයකදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.
කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කරන ෂුබ්මන් ගිල් ද වම් මාපටැඟිල්ලෙහි ආබාධයකට මුහුණ දී සිටින බැවින් ඔහුට ද පළමු ටෙස්ට් තරගය අහිමි වීමට නියමිතව බව සදහන්. පර්ත්හි වකා ක්‍රීඩාංගනයේ දී පැවැති ඉන්දීය සංචිත අභ්‍යන්තර පුහුණු තරගයේ දෙවැනි දිනයේ දී ස්ලිප්හි පන්දු රකිමින් සිටියදීයි ඔහු එම ආබාධයට මුහුණ දුන්නේ.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ පළමු අංක තුන තුළ යශස්වි ජයිස්වාල්, කේ එල් රාහුල් හා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති අභිමන්යූ ඒස්වරන් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.
රාහුල් ද පුහුණු තරගයේ පළමු දිනයේ දී පිතිකරණයේ නිරතව සිටියදී කෙටි පන්දුවක් වැදීමෙන් වැලමිටක ආබාධයකට මුහුණ දුන් නමුත්, ඔහු මේ වන විට ඉන් සුවය ලබා තිබෙනවා.