පළමු 20යි 20න් එංගලන්තයට දරුණු පරාජයක්

Match Report

20යි 20 තරග 05 කින් යුත් එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය මෙරට වේලාවෙන් අද (23) අලුයම ආරම්භ වුණා.

පළමු තරගය බාබඩෝස් හී කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැති එහිදී ප්‍රබල එංගලන්ත කණ්ඩායමට අනපේක්ෂිත දරුණු පරාජයක් අත්කරදීමට කොදෙව්වන් කටයුතු කළා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාඩ් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ වෙතත්, එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට කොදෙව්වන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

මුළු ලකුණු පුවරුව 49 ක්ව තිබියදි එංගලන්ත පිතිකරුවන් 07 දෙනෙකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුණා.

ජේසන් රෝයි ලකුණු 06කටත්, ටොම් බැන්ටන් ලකුණු 04 කටත් දැවී ගිය අතර, මෝයීන් අලී ලකුණු නොලබා දැවී ගියා.

ජේම්ස් වින්ස්ට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 14 ක් පමණයි. සෑම් බිලින්ග්ස් සහ ලියම් ඩෝසන් ලකුණු 02 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු 29 කට මුහුණ දුන් නායක ඔයින් මෝර්ගන් හට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 17 ක් පමණයි.

08 වන කඩුල්ලට පිටියේ එක් වූ ක්‍රිස් ජෝර්ඩන් සහා අඩිල් රෂීඩ් ලකුණු 36 ක සබදතාවක් ගොඩනැගීමට සමත්වුණා. ජෝර්ඩන් ලකුණු 28(23) කටත්, රශීඩ් ලකුණු 22(18) කටත් දැවී ගියා.

පන්දුවාර 19.4 ක් තුළ සියල්ලන් දැවී එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 103 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජේසන් හෝල්ඩර් පන්දුවාර 3.4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 7 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.

ශෙල්ඩන් කොට්‍රෙල් කඩුලු 2 ක් බිඳ හෙලූ අතර අකීල් හුසේන්, රොමාරියෝ ශෙපර්ඩ් සහා ෆේබියන් ඇලන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 104 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 17 යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කළා.

බ්‍රෙන්ඩන් කිංග් පන්දු 49 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 52 ක් වාර්තා කිරීමට සමත්වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 4 ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

ශායි හෝප් ලකුණු 20 ක් සහ නිකලස් පූරන් නොදැවී ලකුණු 27 ක් රැස්කළා.

ඒ අනුව ප්‍රථම විස්සයි විස්ස තරගයේදී කඩුලු 9 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව්වන් මේ වන විට තරග 1-0ක් ලෙස තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

තරගයේ වීරයා සම්මානය ජේසන් හෝල්ඩර් හට හිමිවුණා.

දෙවන විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් හෙට(24) අලුයම 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment