පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වන්ට ලකුණු 201 ක ජයක්

Match Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග Antigua හීදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 201 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පස්වැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ(26) රාත්‍රියේ ආරම්භ වූ අතර, ඒ වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 334 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලබා සිටියේ ලකුණු 109 ක් පමණයි. ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 132 කට දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

නායක මෙහිදි හසාන් මිරාස් ලකුණු 45 ක් රැස් කළ අතර, ජේකර් අලී ලකුණු 31 යි. පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජෙයිඩන් සීල්ස් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, අල්සාරි ජෝසප් කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 450 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ද බොහෝ දෙනෙකු මවිතයට පත් කරමින් කඩුලු 9ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා. ඒ, පළමු ඉනිමේදී ලකුණු 181 ක් පිටුපසින් පසු වූ පසුබිමකයි.

කෙසේ වෙතත්, සිව්වැනි දිනයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව්වන්ට සාර්ථක පිතිහරඹයක නිරත වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 152 කට සීමා වූ අතර, පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 64 කට කඩුලු හයක් දවා ගැනීම කැපී පෙනුණා.

Comments (0)
Add Comment