පරාජ හමුවේ ඉන්දීය ක්‍රීඩකයින්ට නීති දැඩි වෙයි – නීති 10 ක් සහිත ලේඛනයක් ක්‍රීඩකයින්ට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයින් සදහා නව නීති 10 ක් හදුන්වා දී තිබෙනවා. විනය, එකමුතුකම සහ ධනාත්මක කණ්ඩායම් පරිසරයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනුයි මෙම නීති පැනවීම සිදු කර ඇත්තේ.

ශ්‍රී ලංකා තරග සංචාරයේදී ලැබූ එක්දින තරගාවලි පරාජයත්, නවසීලන්තය හමුවේ සිය රටේදී ලැබූ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයත්, ඔස්ට්‍රේලියාවේදී ලැබූ ටෙස්ට් තරගාවලි පරාජයත් මෙන්ම එම තරගාවලියන්හීදී සිදු වූ සිද්ධීන් පදනම් කර ගනිමින් මෙම නව නීති පැනවීම සිදු කර ඇති බව දක්නට ලැබෙනවා.

මෙම නීති සදහා අනුකූල නොවී කටයුතු කරන ක්‍රීඩකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔවුන්ගේ වැටුප් කප්පාදු කිරීම්, තරග ගාස්තු කප්පාදු කිරීම්, මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ඇතුළුව තම මණ්ඩලය සංවිධාන කරන තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින්ට දැනුම් දී ඇත්තේ.

මෙම නව නීති වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බව ද සදහන්. ක්‍රීඩකයින්ට යොමු කර ඇති මෙම නව නීති ඇතුළත් ලේඛනය ‘Policy Document for Team India’ යනුවෙන් නම් කර තිබෙනවා.

දිගින් දිගටම ලැබූ තරගාවලි පරාජයත් සමග පසුගිය සති අන්තයේදී ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර්, ටෙස්ට් හා එක්දින නායක රෝහිත් ෂර්මා, තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කර් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Devajit Saikia එක් වූ විශේෂ රැස්වීමක් පවත්වා තිබූ අතර, එහිදී ගත් තීන්දු තීරණ අනුවයි මෙම නීති පැනවීමට තීරණය කර ඇත්තේ.

පනවා ඇති නව නීතිවල ප්‍රධාන කරුණක් වන්නේ ක්‍රීඩකයින් තරග සදහා හා පුහුණුවීම් සදහා වෙන වෙනම ගමන් කිරීම හා ආපසු පැමිණීම තහනම් කිරීමට ගෙන ඇති තීරණයයි.

ඒ අනුව ක්‍රීඩකයින් සිය පවුලේ සාමාජිකයින් සමග ගමන් කිරීම වෙනුවට කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග එකට තරග සදහා හා පුහුණුවීම් සදහා ගමන් කළ යුතුයි.

නිමා වූ ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඇතැම් ඉන්දීය ක්‍රීඩකයින් තම තමන් වෙන් කර ගත් ගුවන් යානා හරහා සිය පවුලේ සාමාජිකයින් සමග ගමන් කර තිබූ සිදුවීම් ද වාර්තා වී තිබූ අතර, එක් අවස්ථාවක විරාත් කෝලි මෙල්බර්න් ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදියෙකු සමග යම් ආරවුලකට ද පැටලී තිබූ බව සදහන්.

මේ අතර, පුහුණු සැසි සදහා එක්වීමෙන් පසුව ක්‍රීඩකයින් සම්පූර්ණ කාල සීමාවම පුහුණු සැසියේ රැදී සිටීම ද අනිවාර්යය කර තිබෙනවා. පුහුණුවීම් අවසන් වීමෙන් පසුව සියලු ක්‍රීඩකයින් එකට කණ්ඩායම් බස් රථයෙන් ආපසු පැමිණිය යුතුයි.

තවද තරගාවලියක්/තරග සංචාරයක් අවසන් වීමෙන් පසුව සැලසුම් කර ඇති කාලසීමාවට පෙර කිසිදු ක්‍රීඩකයෙකුට කණ්ඩායමෙන් ඉවත්ව යා නොහැකියි. ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගය දින තුනකින් අවසන් වීමෙන් පසුව ඇතැම් ක්‍රීඩකයින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණේ ඒ සදහා වෙන් කර තිබූ දිනයට දින 3කට පමණ පෙරයි.

නව නීතියට අනුව තරගයක් නියමිත කාලයට පෙර අවසන් වුව ද, ක්‍රීඩකයින්ට නියමිත කාලයට පෙර කණ්ඩයමෙන් ඉවත්ව යා නොහැකියි.

මේ අතර, තරග සංචාර තුළදී පවුලේ සාමාජිකයින් ළග තබා ගැනීම සම්බන්ධයෙන් ද නීති පනවා තිබෙනවා. ඒ අනුව දින 45 ක් හෝ ඊට වැඩි දින ගණනකින් යුත් තරග සංචාරවලදී පවුලේ සාමාජිකයින් සති දෙකක කාලයක් සදහා ළගා තබා ගැනීමට අවස්ථාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම තරග සංචාරවලදී පෞද්ගලික කාර්යය මණ්ඩල රැගෙන යාම සදහා ද සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික කලමනාකාරුවන්, සූපවේදීන්, සහායකයින් සහ ආරක්ෂකයින් වැනි පෞද්ගලික කාර්යය මණ්ඩලයට ඇතුළත් වන පුද්ගලයින් රැගෙන යාමට අදාළව මෙම සීමා කිරීම් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇතැම් අවස්ථාවලදී ක්‍රීඩකයින් විසින් පුද්ගලික කොණ්ඩා මෝස්තරකරුවන් හා වේශ නිරූපණ ශිල්පීන් පවා රැගෙන ගිය අවස්ථා ඇති අතර, ඒ අනුව එවැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව සීමා පැනවීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඇතැම් ක්‍රීඩකයින්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගිය අවස්ථා ද පැවැති බව සදහන්.

මේ අතර, සියලු ක්‍රීඩකයින් දේශීය තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීම ද අනිවාර්යය බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය යළි අවධාරණය කරනවා. එලෙස දේශීය තරගාවලි ක්‍රීඩා නොකළහොත් ඔවුන් ජාතික කණ්ඩායමට තේරීමේදී හා ඔවුන්ට මධ්‍යම කොන්ත්‍රාත් ලබා දීමේදී එය බලපාන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දෙනවා.

තරගාවලි අතරතුරදී පුද්ගලික වාණිජ රූගත කිරීම්වල නිරත නොවන ලෙස ද ක්‍රීඩකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම නීතිවලින් පරිභාහිරව කටයුතු කිරීමට යම් අවස්ථාවක යම් ක්‍රීඩකයෙකුට අවශ්‍යතාවයක් ඇතිනම් ඒ සදහා පුහුණුකරුගෙන් හා තේරීම් කමිටු සභාපතිවරයාගෙන් අනුමැතියක් ලබා ගැනීමට සිදු වන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

top
Comments (0)
Add Comment