නායකයා සමග උරණ වී පිටියෙන් එළියට ගිය අල්සාරි ජෝසප්ට දැඩි දඩුවම්

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී ඔහු අවසරයකින් තොරව ක්‍රීඩා භූමියෙන් පිටවී ක්‍රීඩාගාරය වෙත පැමිණීමේ සිද්ධිය පදනම් කර ගනිමින්. නායක ෂේයි හෝප් සමග ඇති වූ මතභේදයක් හේතුවෙනුයි ඔහු එලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත්ව තිබුණේ.

කෙසේ වෙතත්, අදාළ සිද්ධියෙන් අනතුරුව අල්සාරි ජෝසප් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කළා. තමා නායකයාගෙන්, කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගෙන් හා කලමනාකාරීත්වයෙන් පෞද්ගලිකවම සමාව ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියා.

“ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩා ලෝලීන්ගෙන් මම අවංකවම සමාව ඉල්ලනවා” යනුවෙන් ජෝසප් සදහන් කළා.

Bridgetown හි පැවැති තරගයේ එංගලන්ත ඉනිමේ සිව්වැනි පන්දුවාරයේදී පන්දු රකින්නන් යොදවන ස්ථාන සම්බන්ධයෙන් අල්සාරි ජෝසප් හා නායක ෂේයි හෝප් අතර මත ගැටුමක් හට ගෙන තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ජෝසප් අසතුටින් පසු වුණා.

එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී Jordan Cox දවා ගැනීමට ජෝසප් සමත් වූ නමුත්, එම කඩුල්ල සිය සහෝදර ක්‍රීඩකයින් සමග සැමරීමට ඔහු කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට ඔහු යළිත් ඊළග පන්දුව යොමු කිරීම වෙනුවෙන් සිය සීමාව වෙත ගමන් කළා.

එම පන්දුවාරය අවසන් වීමෙන් අනතුරුව ජෝසප් කිසිදු දැනුම් දීමකින් තොරව ක්‍රීඩාගාරය බලා පිටත්ව ගිය අතර, ඒ අනුව කොදෙව්වන්ට පස්වැනි පන්දුවාරය ආරම්භ කිරීමට සිදු වූයේ පන්දු රකින්නන් 10 දෙනෙකු සමගයි.

ඔහු යළි 6 වැනි පන්දුවාරයේ දී පිටියට පිවිසි නමුත්, යළි ඔහු පන්දු යවනු ලැබුවේ 12 වැනි පන්දුවාරයේදීයි. එහිදී පන්දුවාර 3ක් යොමු කිරීමෙන් පසුව අල්සාරි ජෝසප් යළිත් වරක් පිටියෙන් ඉවත්ව තිබුණා.

පසුව ඔහු යළි පිටියට පිවිසීමට කටයුතු කළ අතර, මෙම තරගයේ දී අල්සාරි ජෝසප් සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 45 කට කඩුලු දෙකක් දවා ගත්තා.

මෙවැනි හැසිරීම් කිසිසේත් පිළිගත නොහැකි බව කොදෙව් පුහුණුකරු ඩැරන් සැමී ද පසුව TalkSPORT වෙත ප්‍රකාශ කර තිබුණා.

තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කළ කොදෙව්වන් තරගාවලියේ ජය ද තරග 2-1 ක් ලෙස තහවුරු කර ගත්තා.

 

top
Comments (0)
Add Comment