නවසීලන්ත කණ්ඩායම සමග Mount Maunganui හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 267 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(19) සමත් වුණා.
තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ කරන විට ලකුණු 394 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය දෙවැනි ඉනිමේ දී කඩුලු 5 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.
ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 57 ක්, මයිකල් බේස්වෙල් ලකුණු 25 ක් හා ටොම් ලේතම් ලකුණු 15 ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 18 කට කඩුලු 4 ක් හා ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 49 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 306 ක් රැස් කළා.
අනතුරුව එංගලන්තය සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 374 ක්.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.