එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් දෙදෙනෙකු වන දකුණත් පිතිකරු නිශාන් මදුෂ්ක හා දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ද නම් කර තිබීම විශේෂත්වයක්.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සංචිතයට නම් කර නොමැති අතර, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වුණේ.
ටෙස්ට් සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක්, අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත්.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට අවස්ථාව පවතින්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව යන රටවල් අතරින් දෙකකට පමණයි. ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් නවසීලන්තයට එරෙහි තරගාවලිය ඔවුන් තරග 2-0 ක් ලෙස ජය ගැනීම අනිවාර්යය වනවා.
තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 4 හා 5 වැනිදා දෙදින පුහුණු තරගයකට ක්‍රයිස්චර්ච් හී දී එක් වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
මාර්තු 9 වැනිදා තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රයිස්චර්ච් හී දී ම ආරම්භ වීමට නියමිත අතර, මාර්තු 17 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හී දී යි.
මාර්තු 25 වැනිදා එක්දින තරගාවලිය ආරම්භ වනවා. එම තරගාවලියේ තරග පිළිවෙලින් ඔක්ලන්ඩ්, ක්‍රයිස්චර්ච් හා හැමිල්ටන් හී දී පැවැත්වීමට නියමිතයි. දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා පැවැත්වෙන අතර, තෙවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ මාර්තු 31 වැනිදායි.
පසුව 20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වනවා. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 5 වැනිදා හා 8 වැනිදායි.
ටෙස්ට් සංචිතය –
01. Dimuth Karunaratne – (C)
02. Oshada Fernando
03. Kusal Mendis
04. Angelo Mathews
05. Dhananjaya De Silva
06. Dinesh Chandimal
07. Kamindu Mendis
08. Niroshan Dickwella
09. Nishan Madushka
10. Ramesh Mendis
11. Prabath Jayasuriya
12. Chamika Karunaratne
13. Kasun Rajitha
14. Lahiru Kumara
15. Asitha Fernando
16. Vishwa Fernando
17. Milan Rathnayake