දෙවැනි තරගය වැස්සට සේදෙයි ; ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට අමතර වාසියක් ?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා.

ක්‍රයිස්චර්ච් හි හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට පෙරවරු කාලයේ සිටම දැඩි වර්ෂාවක් ඇද හැලුණු බැවින් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කිරීමට හැකි වූයේ නැහැ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 198 කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරග දෙකක් අවසානයේ දී මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමටනම් දෙරට අතර එළඹෙන 31 වැනිදා හැමිල්ටන් හී දී පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.

අද තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට යම් වාසියක් ද සිදුව තිබෙනවා. 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම පිළිබද ශ්‍රී ලංකාවට අවසන් වශයෙන් යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමටනම් අද තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම පරාජයට පත් නොවිය යුතුව තිබුණා.

කෙසේ වෙතත්, අද තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමග තරගයක් ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 5 ක් හිමිව ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 82 ක් ලබා ගනිමින් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ප්‍රසාද ලකුණු 78 කට හිමිකම් කියන දකුණු අප්‍රිකාව 10 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු 88 ක් ලබා 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 7 ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ඇති අතර, තවත් එක් කණ්ඩායමකට පමණක් ඒ සදහා අවස්ථාව පවතිනවා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමටයි එම අවස්ථාව හිමි වන්නේ.

ඒ අනුව නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය අවසන් වන විට මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැදී සිටින කොදෙව්වන් අභිබවා යාම ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඉලක්කය විය යුතුයි. අද තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේනම් එය ශ්‍රී ලංකාවට සිදු කිරීමට නොහැකි වනවා.

අද තරගයෙන් ප්‍රසාද ලකුණු 5ක් ලැබීමත් සමග නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත ප්‍රසාද ලකුණු 92 ක් ලබා ගනිමින් මේ වන විට 8 වැනි ස්ථානයේ පසුවන කොදෙව්වන් අභිබවා යමින් 8 වැනි ස්ථානය හිමි කර ගැනීමට අවස්ථාවක් උදා වනවා.

කෙසේ වෙතත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නෙදර්ලන්තයට එරෙහි එක්දින තරග දෙකම දකුණු අප්‍රිකාව ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව අභිබවා යා හැකියි. බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරග තුනම ජයගතහොත් අයර්ලන්තයට ද ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව අභිබවා යාමට අවස්ථාව පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අදාළ තරගාවලියන් හී දී අවම වශයෙන් එක් තරගයක් හෝ පරාජයට පත් වීම ද සිදු විය යුතුයි. (ශ්‍රී ලංකාව මීළග තරගය ජය ගැනීම අනිවාර්යයි)

Comments (0)
Add Comment