ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට දඩ නියම කිරීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ(24) පැවැති තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.
මෙය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් අදාළ වරද සිදු කළ දෙවැනි අවස්ථාවයි.
ඒ අනුව ලක්නව් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක මුදලක් දඩ ලෙස නියම කර තිබෙනවා.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියක පමණ අගයක් වනවා.
තරගයට ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයින්ට රුපියල් ලක්ෂ 6ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 26ක් පමණ) හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් නියම කර ඇති බව සදහන්.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මෙම තරගය සදහා ක්‍රීඩා කළා.
ලක්නව් කණ්ඩායම විසින් මෙම වරද යළිත් වරක් සිදු කළහොත්, කණ්ඩායමේ නායක කේ.එල් රාහුල්ට එක් තරගයක තහනමක් පැනවීමට ද කටයුතු කරනු ඇති.
කේ.එල් රාහුල්ගේ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට ද ඊයේ සමත් වුණා.