අතුරුදන් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ ක්‍රීඩා භාණ්ඩ තොගය දිල්ලි පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
දිල්ලි කණ්ඩායමේ නායක ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ද සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක් කරමින් මේ බව තහවුරු කළා.
කෙසේ වෙතත්, ක්‍රීඩා භාණ්ඩ කිහිපයක් තවමත් අතුරුදන් බවයි වෝනර් සදහන් කළේ.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 15 වැනිදා බැංගලූරුහී දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම යළි දිල්ලි නුවර බලා පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස ක්‍රීඩා භාණ්ඩ තොගයක් අතුරුදන් වී ඇති බව අනාවරණය වී තිබුණේ.
පිති 16 ක්, සපත්තු, පා ආවරණ හා අත් ආවරණ තොගයක් ද මෙම අතුරුදන් වූ ක්‍රීඩා භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා.
අතුරුදන් වූ පිති 3 ක් ඩේවිඩ් වෝනර්ට ද, පිති 2ක් මිචෙල් මාෂ්ට ද, පිති 3 ක් පිල් සෝල්ට් හට ද, පිති 5 ක් යශ් ධුල්ට ද අයත් වනවා.
අයි.පී.එල් තරගාවලියේ දී එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන්මළු සහ අනෙකුත් උපකරණ ප්‍රවාහනය කිරීමේ කටයුතු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් සේවා සපයන සමාගමකට භාර දී තිබෙනවා.
15 වැනිදා බැංගලූරුහී දී පැවැති තරගයෙන් පසුව ක්‍රීඩකයින්ගේ භාණ්ඩ යළි දිල්ලි නුවර වෙත ප්‍රවාහනය කිරීමේ දී යි මෙම භාණ්ඩ තොගය සොරකම් කර ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.