දික්වැල්ල හා චන්දිමාල් ශ්‍රී ලංකා සුරක්ෂිත කරයි

Tea Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි(19).

අද දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 205ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 14(78)ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 32(49)ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වු කාලය තුළ ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 77ක් ලබා ගත්තා.

එලෙස දැවී ගියේ ලකුණු 52(138)ක් ලබා සිටි නායක දිමුත් කරුණාරත්න හා ලකුණු 33(60)ක් ලබා සිටි ධනංජය ද සිල්වායි.

කුසල් මෙන්ඩිස් පන්දු 43 කින් වේගවත් ලකුණු 48ක් ලබා ගත්තා. ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු රැස් කිරීමට හැකිවූයේ නැහැ. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 19කට ඊයේ පස්වරුවේ දුවද්දී දැවී ගියා. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 2යි.

පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් ලකුණු 64කට කඩුලු 4ක් බිඳ හෙලුවා.

මේ වන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 137ක්.

චිතගොං හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397 ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස බංග්ලාදේශය සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 465ක්.

Comments (0)
Add Comment