දරුණු පරාජය ගැන පැය හයක සාකච්ඡාවක් – ගම්භීර්ට මොකද වෙන්නේ?

නවසීලන්තයට එරෙහිව පැවැති තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-3 ක් ලෙස පරාජයට පත් වීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දී සමාලෝචන රැස්වීමක් පවත්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම රැස්වීම පැය හයක පමණ කාලයක් පවත්වා ඇති බවයි.

ඒ සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ්, නායක රෝහිත් ෂර්මා, ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් හා තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කර් එක්ව ඇති බව සදහන්.

සිය රටේදී පළමු වරට තරග 0-3 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වීම සම්බන්ධයෙන් මෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම නවසීලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් අවසන් මොහොතේදී වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉවත් කිරීමට සිදු වීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව තිබූ බවයි වාර්තා වන්නේ.

තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී පුහුණුකරු ගෞතම් ගම්භීර් සදහන් කර සිටියේ බුම්රා තෙවැනි ටෙස්ට් තරගය සදහා සුදුසු යෝග්‍යතාවයකින් පසුවන බවයි. කෙසේ වෙතත්, ඔහු තවමත් වෛරස් රෝගී තත්ත්වයකින් සුවය ලබමින් සිටින බැවින් තෙවැනි තරගයට සූදානම් නොමැති බව තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වූ දිනයේ පෙරවරු කාලයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව සන්නිවේදනයේ සිදු වන දුර්වලතා මග හරවා ගැනීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබූ බව සදහන්.

මේ අතර, එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය පුහුණුකරු ලෙස ගෞතම් ගම්භීර්ට ඉතා වැදගත් තරග සංචාරයක් වනු ඇති බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම සංචාරයේදීද ඉන්දීය කණ්ඩායම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළහොත් ගම්භීර්ට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය අහිමි වීමට පවා ඉඩ ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔහු වෙනුවට වී වී එස් ලක්ස්මන් රතු පන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා. එසේ වුවහොත් ගම්භීර්ට සුදු පන්දුවේ වගකීම පමණක් පැවරෙනු ඇති.

නිමා වූ නවසීලන්ත තරගාවලියේ දී තණතීරු සකස් කිරීමේ කටයුතු ද පුහුණුකරු ගෞතම් ගම්භීර්ට අවශ්‍ය පරිදි සිදුව තිබූ බවටත්, තේරීම් කටයුතු සදහා ද ඔහු මැදිහත්ව තිබූ බවටත් වාර්තා පල වුණා.

එවැනි බලතල ඔහුට ලබා දී තිබුණ ද ඉන්දීය කණ්ඩායම දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මේ වන විට ගම්භීර්ට බොහෝ පාර්ශවවලින් දැඩි පීඩනයක් එල්ල වී ඇති බව නොරහසක්.

මේ අතර, එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයෙන් පසුව රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් යන ක්‍රීඩකයින්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකුට ටෙස්ට් කණ්ඩායමේ ස්ථාන අහිමි වීමට ඉඩ ඇති බවට ද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා පලව තිබුණා.

top
Comments (0)
Add Comment